Monday, August 7, 2017

දෑවැද්ද නොහොත් දායාදය ලාංකික සංස්කෘතිය ට පැමිණි ආකාරය

කාන්තාවක් හා පුරුෂයෙක් නීතියෙන් එක් වන විවාහ මංගලෝත්සවයක දී කාන්තාවගේ පාර්ශවයෙන් පුරුෂයාට ලැබෙන දේපළ, ඉඩකඩම්, බඩුමුට්ටු, රන් ආභරණ, මුදල් මෙන් ම යාන වාහන වැනි භෞතිකමය දෑ දායාදය නොහොත් දෑවැද්ද ලෙස හැඳින්විය හැකි ය.මේ ආකාරයෙන් තම දියණිවරුන් ස්වාමියෙකු වෙත පාවා දීමේ දී යට කී පරිදි භෞතිකමය වශයෙන් ලබා දෙන්නා වූ සියලූ ම සම්පත් ආදිය ලාංකික සමාජය තුළ ඈත අතීතයේ පටන් ම ඉටු කෙරෙන චාරිත‍්‍ර විධි ක‍්‍රමයක් ලෙස හැඳින්විය හැකි අතර නුතනය වනවිට දී ද දියණිවරුන් පුරුෂයන් හට විවාහ කර දීමේ දී මෙම දෑවැද්ද ලබා දීම දැකගත හැකි ය.

ඒ ලෙස බලන විට මෙම දෑවැදි ලබා දීම දුරාතීතයේ සිට ම ලාංකික සමාජය තුළ පවතී බව ට විධිමත් සාක්ෂි ඇති හෙයින් ඒ ලෙස දෑවැද්දක් ලබා දීම අප සංස්කෘතිය තුළ ට කෙසේ පැමිණුනේ ද එය කවදා සිට ආරම්භ වූවා ද යන්න හා ඒ තුළ දක්නට ඇති අන්තර් සංස්කෘතික ලක්ෂණ න්‍යායන් තුළින් හා මුහුම් සංස්කෘතික ලක්ෂණ කෙබඳු ද යන්න මෙම ලිපිය තුළින් වටහා ගත හැකි වේ.


මෙම දෑවැද්ද ඉන්දියානු සංස්කෘතියෙන් ලාංකික සංස්කෘතියට පැමිණ ඇති බැව දැකගත හැකි ය. අතීතයේ දී දෑවැද්දක් මුලින් ම ලබා දුන්නේ පුරුෂයාගේ පාර්ශවයෙනි. එය දියණියක් හදා වඩා පෝෂණය කර තමන්ට විවාහ වීමට ලබා දීම නිමිත්තෙන් මනාලියගේ පාර්ශවයට පුරුෂයා විසින් දායාද ලබා දී ඇත.පසු කාලයේ දී එය වෙනස් වී කාන්තාවගේ පාර්ශවයෙන් පුරුෂයාගේ පාර්ශවයට දෑවැදි ලබා දීම සිදු කර ඇත. සමාජ පරිණාමයත් සමග ක‍්‍රම ක‍්‍රමයෙන් නූතනය වන විට දෑවැද්ද කාන්තාවගේ පාර්ශවයෙන් පුරුෂයාට අනිවාර්යයෙන් ම ලබා දිය යුතු අංගයක් බවට පත් වී ඇත.එ කී කරුණු හේතුකොටගෙන ලාංකික සමාජය තුළ මෙන් ම අනෙකුත් සමාජයන් තුළ ද බොහෝ කාන්තාවන් හා ඔවුන්ගේ දියණිවරුන් බොහෝ අවස්ථාවලදී අසරණ භාවයට පත් ව ඇති ආකාරය වත්මනෙහි බොහෝ අවස්ථාවලදී දැකගත හැකි ය. නමුත් එම චාරිත‍්‍රාංගය අනිවාර්ය දෙයක් ලෙස නො කළ යුතු  ය.ඒ තුළින් කාන්තාවට මෙන් ම විවාහ ජිවිතයට ද කිසිදු අගතියක් සිදු නොවනු ඇත.

මෙම දෑවැද්ද මේ රට සංස්කෘතියෙහි මහා ඉඩක් ගෙන ඇති බව දෑවැද්ද අරඹයා ඇති වූ සමාජමය ගැටළු, සංවාද, මතවාද, විවාහ සංස්ථා බිඳ වැටීම මෙන් ම ගොඩනැගීම යනාදී කරුණු දෙස බලන කල මැනවින් පෙනී යන්නකි.එය මෙ රට සාහිත්‍යය ද ආක‍්‍රමණය කළේ එ බැවිනි. රටේ උසස් ම යැයි හැගෙන ලේඛකයන්ගේ ඇතැම් කෘතිවල දෑවැද්ද ප‍්‍රධාන මාතෘකාවක් ද වූයේ එ බැවිනි. නවකතාව, කෙටිකතාව, කවිය, ගීතය පමණක් නො ව සිනමාව, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය යනාදී සියලූ කළා කෘතිවල දී දෑවැද්ද ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් ව ඇති ආකාරය දැකගත හැකි ය.

කෙල්ලෙක් ඉන්න ගෙදරකට නම් දෑවැද්ද ඉල්ලන වැද්දෝ වද්දගන්න හොඳ ම නෑ. ˮ

ගෑනු වගේ පිරිමි ඉන්නකන් දෑවැද්ද කියන වචනය මේ ලෝකේ තියෙයි. ˮ

මට කිඹුහුමක් ගියත් ඉතින්....ඔයාට මතක් වෙන්නේ ඉතින් දෑවැද්දනේ. ˮ
                                                                                  
මතු කියන ලද කියමන් තුනෙන් ම අර්ථය වන්නේ දායාදය නොහොත් දෑවැද්ද යන සාධකය සමාජයට විශාල වශයෙන් බලපෑම් කරන්නක් බවකි. මෙකී කරුණු හේතු කොටගෙන පුරාතන ජන සමාජයේ මෙන් ම නූතන ජන සමාජය තුළ ද විශාල බලපෑමක් කරන්නා වූ දෑවැද්ද යන සාධකය කුමනාකාර ව සිංහල ජන සමාජයට හා සංස්කෘතිය ට පැමිණියේ ද යන්න පිළිබඳ ව සොයා බැලීමේ දී එහි අන්තර් සංස්කෘතික ලක්ෂණ බොහොමයක් දක්නට ලැබේ. දෑවැද්ද ලංකික සමාජය හා බැඳී පවතින චාරිත‍්‍රාංගයක් වන හෙයින් මෙය කුමනාකාරයෙන් මුල් අවදියේ දී සිදු වී ඇද්දැයි විමසා බැලීම ද අවශ්‍ය වේ.

යුග දිවියට පා තැබීමේ දී තරුණ තරුණියන් ට මෙම දායාදය විශාලතම ප‍්‍රශ්නයකි.ඇතැම් තරුණ තරුණියන් නිවසට මහලූ වීමට තරම් මෙම ප‍්‍රශ්නය උග‍්‍ර වී ඇති බව නො රහසකි.අවිවාහක බොහෝ තරුණියන් පවසන්නේ තම දෙමව්පියන් දිළිඳු තත්වයේ සිටින බැවින් සුදුසු සහකාරයෙකු ට  දිය යුතු තරම් දායාදයක් නොමැති බැවින් තම විවාහය එසේ අතපසුවන බව යි.

එ මෙන් ම නූතන දියුණු යයි සම්මත සමාජයේ දී ද දෙදෙනෙකු විවාහ වීමේ දී ද මනමලියගෙන් දෑවැද්දක් ඉල්ලිය යුතු ද යන්න තවමත් නො විසඳුණු ගැටලූවකි.විශේෂයෙන් ම මෙයට දශක කිහිපයකට පෙර දී පාසල් ගමන නිමා කරන යුවතියන් විවාහ වනතුරු කිසිවක් නොකර කල් ගෙවනු ඇත.යට ආදායම් මාර්ගයක් නො වීමෙන් මව්පියෝ යම් ගැලපෙන දෑවැද්දක් ද සමග සුදුසු පුද්ගලයෙකු ට ඇය ව විවාහ කර දෙති.නමුත් අද කාලයේ යුවතියෝ කදිම අධ්‍යාපනයක් ලබා රැකියාවන් හි නිරත ව ආදයමක් උපදවන්නියක් බවට පත්ව ඇත. එ හෙයින් පවුලක දියුණුවට ද ඇය උරදෙන්නියක් බවට පත් ව ඇත. නමුත් මෙ වැනි තත්වයක් උඩ දී වුව ද තරුණියක් විවාහ කරගැනීමේ දී දෑවැද්ද ලබා ගැනීම බොහෝ තරුණයන්ගේ අවශ්‍යතාවය බව සමාජය දෙස බැලීමේ දී දැක ගත හැක.

තව ද වර්තමානය දෙස බැලූ කල්හි පෙනෙනුයේ දෑවැද්ද වූ කලී පුවත් මවන්නක් බවට පත් ව ඇති සාධකයක් ලෙසට ය.ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ලබා ගත දෑවැද්ද හා සම්බන්ධ පුවත් කිහිපයක් පහත දැක්වේ.
·         
  •     ඉන්දියාවේ නව දිල්ලියේ ගම්මානයක දෑවැද්ද ලබා දුන්නේ නෑ කියා වසර තුනක් තිස්සේ තම බිරිඳව වැසිකිළියක දමා සිරගතකොට ඇත.
  •     hong - kong හි ජී. ජී. චා ඕ නම් ව්‍යාපාරිකයා තම සමලිංගික දියණියන්ගේ විවාහය ට දෑවැද්ද වශයෙන් ඩොලර් කෝටි 10ක මුදලක් ලබා දී ඇත.
  •        ලංකාවේ දෑවැද්ද ගැන කියමින් තමාට සැමියා විසින් පහර දීම හේතුවෙන් කාන්තාවක් ගෙළ වැළලාගෙන මිය ගොස් ඇත. තවත් කාන්තාවක් ගිනි තබාගෙන ඇත.තවත් කාන්තාවක් දෑවැද්ද දීමට මුදල් ලබා ගැනීමට හොරකම් කිරිමට ද පෙළඹී ඇත.


තව ද ඉන්දියාවේ දෑවැදි ප‍්‍රශ්නය නිසා සෑම පැයකට ම වරක් මරණයක් සිදුවන බව ද වාර්තා වේ. ඉන්දියාවේ ජාතික අපරාධ වාර්තා කාර්යාංශය 2012 දී නිකුත් කල වාර්තාවකට අනුව දැක්වෙන්නේ දෑවැදි ප‍්‍රශ්න නිසා මරණයට පත් ව ඇති කාන්තාවන් ගණන 8233ක් බවයි. ඔවුන් බහුතරය අලූතින් යුග දිවියට පත් ව ඇති අයයි.මෙ කී තොරතුරු අනුව දෑවැද්ද යනු පුවත් මවන සාධකයක් මෙන් ම සමාජය පුරා විසිරී පවතිනා බලපෑම්කාරී සාධකයක් බව කිව හැකි ය.

එ ලෙස ම දෑවැද්ද පිළිබඳ ව ආගමික ඉගැන්වීම් තුළ දී ප‍්‍රකාශයට පත් කර ඇති ආකාරය පිළිබඳ ව විග‍්‍රහ කිරීම ද වැදගත් වන්නේ ය.ලෝකයේ සෑම රටක ම මීට අවුරුදු 100කට 200කට කලින් දෑවැද්ද පිළිබද ව මහා ඉහළින් කතා බහ කර තිබේ. නමුත් ලෝකය ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙන්න වෙන්න මේ පසුගාමී යල්පැන  ගිය සංස්කෘතිකාංග ඒ ඒ රටවල් විසින් අතහැර දමා තිබේ. දෑවැද්ද යන සංකල්පය ගැන කතාබහ කරනුයේ පවුල තුළ පිරිමියාගේ බලය තහවුරු කිරීමේ ක‍්‍රමවේදයක් ලෙසට ය. එනම් බිරිදගෙන් දෑවැද්දක් නොලැබුන තැන ස්වාමියා තම බලය පතුරුවා හැරීමක් මෙහි දී සිදු වේ.

මෙ කී කරුණු බොහෝ සිංහල බෞද්ධ පවුල්වල දක්නට ලැබේ. විවාහ වීමේ දී සිංහල පවුල්වලින් බහුතරයක් කාන්තාවන්ගේ පාර්ශවයෙන් දෑවැද්දක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව වර්තමානයේ දී සුලබ ව දැකගත හැකි ය. එය පරම්පරාවෙන් පැමිණි චාරිත‍්‍ර විධික‍්‍රමයන් බවට පත් කර ගනිමින් සිංහල බෞද්ධයන් මෙන් ම දෙමළ  ජනයා ද කාන්තාවගේ පාර්ශවයෙන් දායාදය අපේක්ෂා කරන බැව් ලාංකික සමාජය තුළ දක්නට ලැබේ. 

නමුත් ලාංකික සමාජය තුළ දී මුස්ලිම් ජනය තුළ දෑවැද්ද යන සංකල්පය මීට හාත්පසින් ම වෙනස් බව පෙන්වාදිය හැකි ය.

විවාහයට ඇතුලත්වන මනාලයා විසින් මනාලියට දිය යුතු දීමනාව (දායාදය) මහර් අනිවාර්යෙන් ම ගෙවිය යුතු යˮ.(අල් කුර් ආනය 424)

එහෙත් දෙපාර්ශවයේ ම එකඟතාවය මත එම දීමනාව අඩු වැඩි කරගත හැකි ය. විවාහය ට තෝරා ගන්නා සහකරු හෝ සහකාරියගේ ධනය, පවුල, අලංකාරය යන කරුණුවලට වඩා හොඳ ගතිගුණ මෙන් ම දහමට ඇල්මක් ඇති තැනැත්තියක් තෝරාගන්නා ලෙස නබිතුමා උපදෙස් දී ඇත. එසේ ම මනාලියගෙන් දෑවැදි ලබාගෙන විවාහ වීම ඉස්ලාම් ඉගැන්වීම් උඩු යටිකුරු කිරීමක් ලෙස දැක්විය හැකි ය. මේ අනුව දායාදය පිළිබඳ ලාංකික සමාජයේ ආගමික ඉගැන්වීම් හි දක්නට ලැබෙන ආකාරය පෙන්වාදිය හැකි ය.

දායාද යන්න කොපමණ දුරාතීතයේ සිට ආරම්භ වූවා ද යන්න සලකා බලනකල පැරණි ම මුලාශ‍්‍රවල සඳහන් වන්නේ ”දායාදය මනාලිය ට විනා ඇගේ අත ගත් ස්වාමි පුරුෂයාට ප‍්‍රධානය කරන ලද්දක් නො වන බව යි”. ඒ මෙන් ම පැරණි මුලාශ‍්‍රවල සඳහන්වන ප‍්‍රකට මෙන් ම විශාලතම දායාදය වශයෙන් ගත හැක්කේ ”විශාඛා සිටු කුමරියගේ විවාහය නිමිත්තෙන් ඇගේ පියා විසින් දෙන ලද නො මසුරු දායාදය යි”. එ කී දායාදය පිළිබඳ ප්‍රේරමදාස කේ. අලවත්තගේයන්ගේ ’පැරණි සිංහල විවාහ සංස්කෘතිය’ යන පොතෙහි මේ ලෙස සඳහන් කර ඇත.
·        
  •        මසුරන් පිරූ ගැල් පන්සියයක්.
  •          තෙල්, තලතෙල් ආදී තෙල් කල, සැළ පිරූ ගැල් පන්සියයක්.
  •          සැට දහසක් දෙනුන් හා සැට දහසක් ගොනුන්.
  •          හාල් සහල් පිරූ ගැල් පන්සියයක්.
  •       දායාද වහල්ලූ..........                                                                                                                                                                               (පැරණි සිංහල විවාහ සංස්කෘතිය 166 පිටුව)

සංඛ්‍යාව පිළිබඳ ව සැලකිල්ල පසෙක තබා බැලූ කල්හි එවක දායාද වශයෙන් දුන්නේ කවරාකාර බදු භාණ්ඩ ද යන්න මේ මගින් විශද වේ.

ඒ මෙන් ම පසේනදී කොසොල් රජු විසින් අජාසත් රජුට සිය දියණිය වූ වජිරා කුමරිය පාවා දෙද්දී ගම පළාතක් ද දායාද වශයෙන් දී ඇති බව සඳහන් වේ. එ මෙන් ම ඒ කල භාරතීය සංස්කෘතිය තුළ දී රහසේ තරුණයන් සමග පැන ගිය දියණිවරුන්ට දායාද ලබා දී ඇති බව ද පැරණි මුලාශ‍්‍රවල සඳහන් වේ.එයට කදිම නිදසුනක් වන්නේ කෝළිය නුවරට පලා ගිය ශාක්‍ය කුමරියන්ට ශාක්‍ය රජවරුන් විසින් දායාද සම්පත් දී යැවීම යි. එ මෙන් ම දියණියන් දෙදෙනෙකු පාවා දී දායාද දෙන ලෙස ගෙයක් තනවා පවරා දීම භාරතීය සංස්කෘතිය තුළ එවක පැවති බව ”ජටිල තෙරුන්ගේ වතෙහි” සඳහන්වන බව කියවේ.

එ මෙන් ම එකල දායාද සම්පත් සහිත ව පතිකුලයට යෑම කාන්තාවකට විශාල ශක්තියක් වූවා මෙන් ම සිය පතිකුලය තුළ සාඩම්බර ව සිටීමට ද එය හේතුවක් වූ බව ද මුලාශ‍්‍රයන් හි සඳහන් ව ඇත.දායාද නො ලබා සරණ ගිය කාන්තාවන් බොහෝ සෙයින් අසරණ වූ වග ද සඳහන් වේ.ස්වාමි පුරුෂයාගේ පමණක් නො ව පතිකුලයේ අනෙකුත් සාමාජිකයන්ගේ ද ආධිපත්‍යයට යටත් වීමේ ප‍්‍රවණතාව ඒ නිසාවෙන් වැඩි වුණි. වෙසතුරුදා සන්නයේ කියවෙන ”තාගේ දෙමව්පියන් අළ ධනයක් ඇද්ද” යන කරුණෙන් ද ඉඟි කෙරෙනුයේ දෙමවුපියන් විසින් ගැහැණු දරුවන් වෙනුවෙන් නිසැකයෙන් ම දායාදයන් ලබා දීම ට බැඳී පැවතිය යුතු බවයි. තව ද වත්කම් ඇත්තන් සිය බලවත්කමට සරිලන සේ දායාද දුන් අතර දුප්පත් පවුලක වුව ද සිය හැකියාවට අනුව දියණියන්ට සුළුවෙන් හෝ යමක් දීමට උත්සුක වී ඇති ආකාරය ද ඉපැරණි භාරත සාහිත්‍යය දෙස බැලූ කල්හි දක්නට ඇත. රසවාහිනියේ දැක්වෙන අරියගාලතිස්ස කතාවට අනුව දෙමවුපියන් විසින් සහල් නැළියක් හා පිසින බඳුනක් පමණක් දී දියණියන් පාවා දී යැවූ බව ද සඳහන් වේ.

එ ලෙස ම ”පැරණි සිංහල විවාහ සංස්කෘතිය” කෘතියෙහි දැක්වෙන ආකාරයට, පැරණි භාරත සමාජයේ දේපළ දායාදයන් සහිත ව දියණියන් සරණ පාවා දීම යනු සාමාන්‍ය සාම්ප‍්‍රදායික චාරිත‍්‍රයක් වූව ද වෙනත් හැකියාවන් ද දායාද සේ සලකුණු අවස්ථා ඇත. ”ලිච්චවී නුවර හුන් වාද දහස උගත් පරිබ‍්‍රාජක දියණියන් සිව් දෙනාගේ පුවත එවැන්නකි”. අමාවතුරෙහි කියවෙන පරිදි ”අපගේ කුලයෙහි දැරියෝ නම් රන් රිදී ආදී දායාද දී කලත‍්‍රයට යව්විරිහි නම් නැති. යම් ගිහි මිනිහෙක් ඔවුන්ගේ වැඩ මඩනට නිසි වී නම්  ඕ හට පාද පරිචාරිකාව වෙති”. යනු මවුපියන්ගේ අවවාදය විය. මෙහි පැහැදිලි ව පෙනෙන පරිදි දායාද ගණයෙහි ලා ගැනුණු දෑ පිළිබඳ ලඝු සඳහනක් මෙන් ම එ වැනි දායාද මූලික ව නො තැකූ සම්ප‍්‍රදායක් පිළිබඳ ව කරුණු අනාවරණය වේ. ඒ අනුව දායාද යනු විවාහ කර්තව්‍යයක දී දියණි කෙනෙකු අරභයා මවුපියන් සතු වූ ස්ථිරසාර යුතුකමක් හා වගකීමක් ලෙස චාරිත‍්‍රගත ව පැරණි භාරත සංස්කෘතියේ, එ නම් ඉන්දියාවේ පවතී ඇති බව මෙයින් ගම්‍යමාන වේ.


එ මෙන් ම එකී සංස්කෘතිය තුළ දී ම ඊට ප‍්‍රතිවිරුද්ධ වූ ආකල්පයක් ද දායාදය තුළින් විශද වී ඇති බවක් ද දක්නට ලැබේ.එ නම් මනමාලියගේ පාර්ශවය විසින් නො ව මනමාලයා හෝ ඔහුගේ පාර්ශවය වෙතින් ඉටු වූ මෙ වැනි දීමනා සම්ප‍්‍රදායන් මුලාශ‍්‍රයන් හි දී දැකිය හැකි ය .එ නම් විවාහයක් අරඹයා මනමාලය විසින් කරන ලද්දා වූ වැය විශේෂයකි. මෙයට උදාහරණ ලෙස ,

‟ අනිත්ථිගන්ධ කුමාරයා තැනූ රන් රුව එ වැනි කුමරියක් හමු වූ පසු ඇයගේ දෙමවුපියන්ට දෑවැද්ද ලෙස දී කුමාරිකාව සරණපාවා ගෙන ඇතˮ.

‟ එරන්දතී නම් කුමරිය දැක පේ‍්‍රමයෙන් බැඳුනු පුර්නක කුමරු ඇත්, අස්, යාන වාහන හා මුතු මැණික් ආදිය ඇගේ දෙමවුපියන්ට ප‍්‍රදානය කොට ඇය ව සරණපාවා ගෙන ඇතˮ.

මෙවැනි දුලබ සිද්ධීන්වල දායාදය පිරිමි පාර්ශවයෙන් කාන්තා පාර්ශවයට ලැබුන ද භාරත සංස්කෘතිය හා එහි සාහිත්‍යමය පොතපත විග‍්‍රහ කොට බැලීමේ දී වැඩි වශයෙන් දැක ගැනීමට ඇත්තේ විවාහයක දී කාන්තා පාර්ශවය විසින් පිරිමි පාර්ශවයට දායාද ලබා දී විවාහ වුන බවයි.මෙ කී සියලූ ම විග‍්‍රහයන්ට අනුව ගම්‍ය වන්නේ දායාදය ලබා දීම, ඒ නම් දැවද්දක් දීම ඉපැරණි භාරත සංස්කෘතිය තුළින් ආරම්භ වී ඇති බවයි.

ලාංකේය ඉතිහාසය දෙස බැලූ කල්හි දියණියන්ට දෑවැදි ලබා දීම අද ඊයෙක සිදු වුවක් නො වේ. එය එ කල භාරත සංස්කෘතිය එ නම් ඉන්දියානු සංස්කෘතිය තුළින් ලාංකීය සංස්කෘතිය ට සේන්දු වූවක් ලෙස පෙන්වා දිය හැකි ය.ඒ අනුව භාරත සංස්කෘතිය හා ලාංකීය සංස්කෘතිය අතර අන්තර් සංස්කෘතික ලක්ෂණ මෙහි දී දැකගත හැකි ය. එ පමණක් නො ව මෙ කී දෑවැද්ද පිළිබඳ ව පැහැදිලි චිත‍්‍රයක් මවා ගත හැකි ලාංකික ඉතිහාසයේ ප‍්‍රධාන අවස්ථාවක් ලෙස විජය කුමරාගේ රාජාභිෂේකය මූලික තැනක් දරන බව පැහැදිලි වේ. ඒ මෙසේ ය,

විජය කුමරු ලංකාවට ගොඩ බැස කුවේනියගේ සහය ලබා බලය ගෙන ජනපද පිහිටුවා ගත්තේ ය.ඉන් පසු ඔහුගේ ඇමතියන් කියා සිටියේ රජකමෙහි අභිෂේකයට කාලය පැමිණ ඇති බවයි.එහෙත් ක්ෂත‍්‍රීය කන්‍යා කුමාරිකාවකගෙන් තොර ව රාජ අභිෂේකයට විජය කුමරා කැමැත්තක් දැක්වුයේ ද නැත. එ බැවින් ඇමතියෝ දකුණු මධුරා පුරයේ පඬු රජුගේ දියණිය ලබා ගැනීමට දූතයන් එහි පිටත්කර හැරීමට කටයුතු කළහ. එ මෙන් ම ඇමතිවරුන්ට අනෙක් දියණියන් ද සහචරයන්ට භාර්යාවන් ද සොයා දූතයන් යැවූ බව මහාවංශයේ සඳහන් ය. පඬු රජු මෙම ඉල්ලීමට ප‍්‍රතිචාර දැක්වූ සැටි මහාවංශයේ මෙසේ සඳහන් වේ. 

‟ පවුල්වලට අවශ්‍ය දේ සපයා, රජු සන්දේශයක්, සතුරන් පරාජය කළ විජයට යවන්නේ සියලූ ආභරණයෙන් සැරසූ සහ පුද්ගලික ධනය සහිත ව තම දියණියත්, අනෙකුත් කන්‍යාවන් ද නිසි පරිදි සරසවා යැවුවේ ය. ඔවුන් සමග රජුන්ට උචිත වූ ඇතුන්, අශ්වයන්, රථ ශිල්පීන් සහ හා අට ශේණියක දහසක් පවුල් ද යවන ලදී. මේ සියලූ ම පිරිස මහා තිත්ථයෙන් නැව්වලින් ගොඩබටහා..........පඬු රජුගේ දූතයන් විජය කුමරුට ගෙන ආ පඬුරු මෙන් ම කුමරිය ද අනික් අය ද බාර දුන්හˮ.  (මහා වංශය)

ලංකාවේ මුල් ම රජු සිය බිරිඳගෙන් හෙවත් අගමෙහෙසියගෙන් දෑවැදි ලැබූ වග නම් එ ලෙස ය. එහි දී විශද වන්නේ ලංකාවේ මුලින් ම දෑවැද්ද කාන්තාවගේ පාර්ශවයෙන් පුරුෂයාට හිමි ව ඇති බව යි. එය ඉන්දියාවෙන් ලංකාවට පැමිණි චාරිත‍්‍රාංගයක් බවත් මෙම තොරතුරු අනුව පැහැදිලි වේ. මෙහි දී අන්තර් සංස්කෘතික ලක්ෂණ ද දැකගත හැකි වේ.එ නම් ඉන්දියානු  සංස්කෘතිකාංගයක් ලාංකික සංස්කෘතියකට පැමිණ එකී සංස්කෘතිකාංගය ලාංකික සංස්කෘතිය තුළ ස්ථාපනය වීම යි. එය Edward T.Holl˜ගේ අන්තර් සංස්කෘතික න්‍යාය යටතේ ද විග‍්‍රහ කල හැකි ය.එ නම් 1959 දී හෝල් විසින් රචනා කර ඇති The Silent Language˜ නැමති කෘතියේ දී එකවර සංස්කෘතික කුසලතාවන් ගණනාවක් ක‍්‍රියාත්මක කිරීමේ ඇති හැකියාව විස්තර කරමින් පෙන්වා දෙන්නේ පුද්ගලයෙකු එක සංස්කෘතියකට අනුගත වනවාට වඩා සංස්කෘතීන් කිහිපයක් සමග බැඳී ඇති ආකාරයයි .මෙහි දී විද්‍යමාන වන්නේ සෑම සංස්කෘතියකට ම අයත් පුද්ගලයන්ට විවිධ සංස්කෘතීන්හි ආභාෂය ඇති බවයි.ඉන්දියානු සංස්කෘතියේ ඇති දායාද ලබා දීම ලාංකික සංස්කෘතියට සම්ප‍්‍රාප්ත වී ඒ තුළින් ලාංකික සංස්කෘතිය තුළ දෑවැද්ද දීමේ ක‍්‍රියාවලිය හඳුනාගෙන ඇති ආකාරය දත හැකි ය.         

ඉන්දියාවෙන් මෙ රට ට පැමිණි දෑවැද්ද ලබා දීමේ චාරිත‍්‍ර ක‍්‍රමය පුරුෂයාගේ පාර්ශවයෙන් කාන්තාවගේ පාර්ශවයට ලබා දීම දුලභ ව දැක ගත හැකි වුවත් ලාංකික ඉතිහාසය දෙස බලන කල කාන්තාවගේ පාර්ශවය විසින් පුරුෂයාගේ පාර්ශවයට දෑවැද්දක් ලබා දීමේ ක‍්‍රමවේදය සුලභ ව දැකගත හැකි ය.

මහාවංශය ඇසුරුකොට ගෙන ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මහතා විසින් සම්පාදිත මධ්‍යකාලින ලංකා  සංස්කෘතිය ( පරිවර්තනය - ආචාර්ය ඇම්.බී. ආරියපාල) නමැති ග‍්‍රන්ථයේ ද දෑවැද්ද ගැන මෙ බඳු සටහනක් දැක ගත හැකි ය.

‟ මනාලිය පොහොසත් කෙනෙකුගේ ගෙදරක උපන් තැනැත්තියක් වී නම් ඈ තම අලූත් ගෙදරට හිස් අතින් පැමිණියේ නො වේ. ඈ පැමිණියේ දායාදයක් ද රැුගෙන ය. පළමු වැනි මොග්ගල්ලාන සිලාකාලයන්ට තම සොහොයුරිය විවාහ කර දුන්නේ සෑහෙන තෑගී බෝගාදිය ද සමග ය. දෙවන උපතිස්ස රජු සිය දියණියට ඒ ආකාරයෙන් ම දායාදයක් සැපයීය. දෙවැනි පරාක‍්‍රමබාහු රජතුමා, ඉන්දියාවෙන් තෑගි බෝගාදිය සමහ රාජකුමරියන් ලංකාවට ගෙන ඒම ගැන පුරසාරම් දොඩයි.

ශ‍්‍රී ලංකාවේ පැරණි රජවරුන්ගේ දෑවැදි කතා මෙ ලෙස පෙන්වාදිය හැකි ය.ලංකාවේ රහතුන් වහන්සේලාගේ අත්දැකීම් සහ ලංකාවේ ම සිදුවීම් ඇසුරෙන් ලියවුණු සිංහලවත්තුප‍්‍රකරණය කෘතියේ ද විවාහය හා දෑවැද්ද ගැන ලියවුණු කතා බොහොමයකි. මහාචාර්ය පල්ලියගුරු මහතා පවසන්නේ මෙ වැනි ඉතිහාසය කතා බුදු සාමය මෙ රට පැතිරීමෙන් පසුකාලීන ව ලංකාවෙහි ලියවුණු සිදුවීම් ය. ඒ තුළ හින්දු සංස්කෘතියේ අභාෂය ද දක්නට ලැබෙන බව ඔහු පවසා ඇත. ඒ තුළින් ඉන්දියානු සංස්කෘතික ලක්ෂණ විදහා ඇති ආකාරය ද දැකගත හැකි ය. එයින් ඉස්මතු වී පෙනෙන්නේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් ය. ඒ තුළින් ද සඳහන් කළ හැක්කේ දෑවැද්ද නොහොත් දායාදය ලබා දීම ලාංකික සංස්කෘතියට ඉන්දියානු සංස්කෘතියෙන් පැමිණි බවත් ය. අතීතයේ දී දෑවැද්ද ලබා දීමේ ක‍්‍රමවේදය කෙලෙස සිදු වුයේ ද, හා එය පසුකාලීන ව ලාංකික සමාජය තුළ කොතෙකුත් බලපෑමක් ඇති කළ ද යන්න මෙ කී කරුණු තුලත් ගම්‍යමාන වේ. එ මෙන් ම දෑවැද්ද තුළ දක්නට ඇති අන්තර් සංස්කෘතික ලක්ෂණ ද යට කී ආකාරයෙන් පෙන්වා දිය හැකි ය. එ ලෙස ම අන්තර් සංස්කෘතික සන්නිවේදන මූලික න්‍යායන් යටතේ එන Edward T.Hall විසින් පෙන්වා දී අැති අන්තර් සංස්කෘතික විග‍්‍රහයට අනුව ද දෑවැද්දෙහි ඇති අන්තර් සංස්කෘතික ලක්ෂණ මතු කී තොරතුරු අනුව මනා ව ගම්‍යමාන වේ. මෙ කී සියලූ ම කරුණුවලින් ධ්වනිත වන්නේ ලාංකික ජන සමාජය තුළ අතීතයේ දී මෙන් ම වර්තමානය තුළ ද බෙහෙවින් කතාබහට ලක් වන්නා වූ දෑවැද්ද නොහොත් දායාදය අන්තර් සංස්කෘතික ලක්ෂණ විදහාපානු ලබන සාධකයක් බව යි.



වර්තමාන තරුණ පරපුර කවුරුත් දකින්නේ උගත්, බුද්ධිමත්, සාධාරණය සලකන පිරිසක් ලෙස ය. එ හෙයින් විවාහ වීමේ දී දෑවැද්දක් අපේක්ෂා කිරීම අද කාලයට නො ගැලපෙන්නක් බව කාගේත් මතය වේ.එයට අමතර ව දෙමවුපියන් ඉදිරියට දමා තමා හා සමග විවාහවන තරුණියගෙන් දෑවැදි ඉල්ලීම ද නො කළ යුත්තකි. විවාහවන අවස්ථාවෙහි දියණියන් අරඹයා දායාද දීමේ සම්ප‍්‍රදාය විවාහයක අනිවාර්ය අංගයක් බවට ලාංකික ජන සමාජයේ පවතින මෙම කියමන සමාජයෙන් තුරන් කර කාන්තාවගේ සුබසිද්ධිය මෙන් ම විවාහ දිවියේ කාන්තාව හා පුරුෂය යන දෙදෙනාගේ ම සුබ සිද්ධිය උදෙසා කළ යුතු ය යන්න දැක්විය හැකි ය.

Tuesday, August 1, 2017

පුවත්පත් කාටුන් තුළින් සන්නිවේදන ප‍්‍රවේශයන් ධ්වනිත වන ආකාරය

                
 තොරතුරු පිපාසයෙන් සිටින මිනිසා ට වත්මනය වනවිට තොරතුරු දැන ගැනීම අතැඹුලක් සේ තම දෝතට ම ගෙන දීම ට සන්නිවේදන මාධ්‍යයන්ට හැකි වී තිබේ. ඒ අතුරින් මුද්‍රිත මාධ්‍ය ට හිමි වන්නේ ප‍්‍රමුඛස්ථානයකි. මුද්‍රිත මාධ්‍ය වූ කලී සන්නිවේදන මාධ්‍ය ලොව තුළ, මුලින් ම බිහි වූ සන්නිවේදන මාධ්‍ය යි. වර්තමානය වන විට බහුජන මාධ්‍ය වන රුපවාහිනිය, ගුවන්විදුලිය, මුද්‍රිත මාධ්‍ය යන ත‍්‍රිත්වය තුළින් අතීතයේ සිට ම ග‍්‍රාහකයා ට වඩාත් සමීප ආකාරයෙන් නිර්මාණය වී ඇති පුවත්පත තොරතුරු සම්පේ‍්‍රෂණ කාර්යයෙහි ලා මුලික ස්ථානයක් ලබාගෙන ඇත.

දියුණුවෙමින් පවතින ලොව තුළ තාක්ෂණයේ දියුණුව ත් සමග කොතෙකුත් සන්නිවේදන මාධ්‍ය බිහි වුව ද මුද්‍රිත මාධ්‍යයන්හි එන පුවත්පතට හිමි වී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් මගින් ද ශ‍්‍රව්‍ය  මාධ්‍යයන් මගින් හා අන්තර්ජාලය හා වෙනත් තොරතුරු මාධ්‍යයන් මගින් තොරතුරු ග‍්‍රහකස්ථාන ගත කළ ද මුද්‍රිත මාධ්‍ය මගින් ග‍්‍රහකයාට කරන බලපෑම මතු කී කිසිඳු මාධ්‍යයකින් සිදු කිරීමට නො හැක.මන්දයත් පුවත්පත තුළින් ග‍්‍රහක ගතවන තොරතුරු වඩාත් සමීප අයුරින් ග‍්‍රාහකයා වෙත මුදාහරින නිසාවෙනි.

පුවත්පත් මාධ්‍ය තුළ අන්තර්ගතවන ප‍්‍රවෘත්ති, තීරු ලිපි, කතු වැකි, චිත‍්‍ර කතා, කවි, නිසඳැස්,ඡායාරූප ආදිය ට මෙන් ම එහි අන්තර්ගත කාටුනයට ද ලැබෙන්නේ සුවිශේෂී වූ ස්ථානයකි. වචන දහසකින් කිව නො හැකි අර්ථයක් එක් කාටුනයක් තුළින් අරුත් ගන්වන ආකාරයට කාටුනය නිර්මාණය කරලීම ට නිර්මාණකරුවන් සමත් ව ඇත.

පුවත්පත් ග‍්‍රාහකයා කරා කාටුනය අද වනවිට කොතෙකුදු බලපෑමක් කරනවා ද කියතොත් පුවත්පත පෙරලූ පළමු වරට කාටුනය දෙස ට නෙත් යොමු කරන්නා වූ ග‍්‍රාහකයන් බොහෝ සෙයින් දැක ගත හැකි ය. දේශපාලන මට්ටමින්, සමාජීය මට්ටමින් මෙන් ම මනෝවිද්‍යාත්මක මට්ටමින් ද පුවත්පත් කාටුනය මගින් ග‍්‍රාහක සිත තුළට කරන්නා වූ බලපෑම මුලික කොටගෙන පෙන්වා දිය හැකි ය.

පුවත්පත් කාටුනය තුළින් මාධ්‍ය ක්ෂේත‍්‍රය තුළ නමක් දිනා ගත් මාධ්‍යවේදීන් ද වත්මනය තුල දැකගත හැකි වේ.දාස හපුවලනගේ ”සුවාරිස් ” ඒ අතර ප‍්‍රමුඛස්ථානය ගෙන ඇති බව පෙන්වා දිය හැකි ය. සන්නිවේදන විෂය හැදෑරීමේ පහසුව උදෙසා සන්නිවේදනය යන්න විවිධ වූ ප‍්‍රවේශයන් යටතේ වෙන්කොට දක්වාලිය හැකි ය.ඒ අතුරින් මෙහි යොදා ඇති පුවත්පත් කාටුන් තුළින්,

1.        සන්නිවේදනය පිළිබඳ සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය.
2.        සන්නිවේදනය පිළිබඳ දේශපාලන හා ආර්ථික විද්‍යාත්මක ප‍්‍රවේශය.
3.        සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය.
             ප‍්‍රකට වන ආකාරය දැකගත හැකි ය.

දේශපාලනය හා ආර්ථිකය යනු සමාජය එක් ව බැඳ තබන රැහැන් ලෙස දැකිය හැකි ය. මන්දයත් සමාජ පැවැත්ම උදෙසා දේශපාලනය හා ආර්ථිකය යන්න වැදගත් ම සාධකයන් ය.සන්නිවේදන දෘෂ්ටිකෝණයෙන් බැලූ කල්හි සන්නිවේදන ප‍්‍රවේශයක්වන සන්නිවේදනය පිළිබඳ දේශපාලන හා ආර්ථික විද්‍යාත්මක ප‍්‍රවේශය කාටුන් තුළින් පෙන්නුම්වන ආකාරය මෙ ලෙස දැක්විය හැකි ය.

 
රට පාලනය කරන පාලක පන්තිය විසින් මහජනතාවට ජිවන බර, ජීවන වියදම දරාගත නො හැකි ලෙස ලබා දී ඇත.ඉහත දැක්වෙන කාටුනය තුළින් පෙන්වන්නේ ජීවන වියදම හා ජිවන බර නිසා ග‍්‍රාමීය ජනතාවගේ බර වැඩි වී ඇති බව උපහාසයෙන් දක්වා ඇති බව යි. ජනතාවගේ බර මනිමින් සිටින පාලකයා ”අම්මෝ බර”යැයි කියාපෑම තුළින් ද සන්නිවේදනය වන්නේ උපහාසාත්මක ලක්ෂණය යි.මක්නිසා ද යත් ඔවුන් හොඳාකාරව ම ජනතාව විඳින දුක,ඔවුන්ට ඇති ආර්ථික ප‍්‍රශ්න ගැන දැන දැන ම ජනතාවගේ බර වැඩි වීම පිලිබඳ ව කිසිවක් නොදත් ආකාරයට ජනතාවගෙන් ම ප‍්‍රශ්න කර යි.එහි දී පාලකයන් ජනතාවගේ බර වැඩි වුයේ ජිවන බරින් බව දැක්ක නමුත් ඒ සඳහා විසඳුමක් නො දී ජනතාවගේ බර වැඩි වීම පිළිබඳ පමණක් අවධානය යොමු කරන බව කාටුන්කරු උපහාසයෙන් යුතු ව පෙන්වා දේ.දේශපාලනය හා ආර්ථික විද්‍යා ප‍්‍රවේශය යටතේ එම කාටුනය විග‍්‍රහ කළහොත් එහි ගැබ් වී ඇති රටෙහි ආර්ථික තත්වයේ හීන බව හා දේශපාලන පාලක පන්තියේ ක‍්‍රියා කලාපය මැනවින් මතු කොට පෙන්වා දී ඇති බව දැක ගත හැකි ය.



ඡන්දය ළඟ ඇති කාල වකවානුවක් තුළ පළ වූ මෙම කාටුනය තුළින් ප‍්‍රකට වන්නේ එවකට ජනාධිපති ව සිටි මහින්ද රාජපක්ෂගේ සිත තුළ තවත් කැබිනට් ඇමතිවරු වැඩිකර ගැනීමට ඇති කැමැත්තයි. මෙ කල UNP මන්ත‍්‍රීවරු රාශියක් ආණ්ඩුවට පැමිණීමට සුදානම් ව තිබු අතර ඔවුන්ට ඇමතිකම් දීම සඳහා  මෙසේ කැබිනට් මණ්ඩලය වැඩි කිරීමට ආණ්ඩුව උත්සහ ගත් බව මෙයින් නිරුපණය කෙරේ.ඒ මගින් ඡන්දයෙන් වාසි ලබා ගැනීම සඳහා මෙසේ කැබිනට් මණ්ඩලය වැඩි කරගන්නට උත්සහ කරන බව කාටුන්කරු ව්‍යංගයෙන් ජනතාවට සන්නිවේදනය කර යි.මම කාටුනය මගින් ද පුළුල් දේශපාලන කතාවක් ප‍්‍රකාශ කරන බව දැකිය හැකි ය.

ඉහත දැක්වෙන කාටුනයෙන් ද ලංකාවේ දේශපාලනය පිළිබඳ ගැඹුරු යථාර්ථයක් ඉදිරිපත් කර යි.මෙහි දී 13වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට අවශ්‍ය ද නැතිද යන්න ගැන අදහස් දක්වන ලෙස ජනපති ව සිටි මහින්ද රාජපක්ෂ ඇමතිවරුන්ට කියා සිටින අතර එහි දී මහින්දගේ සාටකයත් දාගෙන සිටින ඇමතිවරයා ජනපතිගෙන් අසා සිටින්නේ ”සර් බලාපොරොත්තු වෙන්නේ මොනවගේ යෝජනා ද”කියා ය.මෙහි දී ඇමතිවරු විසින් තම ඇමතිකම ආරක්ෂා කර ගැනීමටත් ඊළඟ මැතිවරණයට තරඟ කිරීමට ත් අවශ්‍ය බැවින් ජනාධිපති කියන දේ ට පිටින් වැඩ නො කරන අතර ජනාධිපති ට අවශ්‍ය ආකාරයට පිළිතුරු දීමට ඔවුන් වග බලා ගනී.මේ නිසා සැබෑ අදහස් නො ලැබෙන අතර සිදු වී ඇත්තේ හොරාගේ අම්මගෙන් පේන ඇසීම බව කාටුන්කරු හාස්‍යයෙන් දක්ව යි.සැබෑවට ම ලංකාවේ දේශපාලනය ට සිදු වී ඇති මෙම තත්වය කුඩා කාටූනයක් මගින් ජනතාවට පහසුවෙන් දැනගත හැකි වන ලෙස ඇඳ තිබිම තුළින් සන්නිවේදන ක‍්‍රියාදාමයේ දී කාටුනයේ වැදගත්කම පෙන්වා දිය හැකි වන අතර මෙම කාටුනය මගින් පුළුල් ලෙස දේශපාලන තත්වය විවරණය කරන බව කිව හැකි ය.

ඉහත දැක්වෙන කාටුනය තුළින් දේශපාලනය මෙන් ම ආර්ථිකය පිළිබඳ ව ද මොනවට පිළිබිඹු වේ.මෙහි දී එක් මන්ත‍්‍රීවරයෙක් පවසන්නේ මොන ම ගොවිතැනක්වත් නො කළත් ලංකාවට අවුරුද්දකුත් මාස 2කට ප‍්‍රමාණවත් තරම් ධාන්‍ය තිබෙන බව යි.එ විට එතන සිටින සාටකය දාගත් ඇමතිවරයෙක් කියන්නේ මොන ම රැකියාවක්වත් නො කළත් ඔවුන්ට ද මුළු ජීවිත කාලය ම  ප‍්‍රමාණවත් වන්නට මුදල් තිබෙන බව යි.එහි දී කාටුන්කරු  සාටකය දාගත් ඇමතිවරයෙක් චිත‍්‍රණය කිරීම තුළින් පාඨකයාට සන්නිවේදනය කිරීමට උත්සහ ගන්නේ මහින්දගේ ආණ්ඩුවේ ඇමතිවරුන් මහජන මුදල් සුරා කමින් සුඛෝපභෝගී ලෙස ජීවත්වන බව යි. මෙහි දී   බලයේ සිටින පාලකයන් මෙසේ කිසිඳු රැකියාවක් නො කර ජිවිත කාලයට ම ඇති වන්නට මුදල් රැස් කරන බවත් ඒ සඳහා මහජනයා වෙත අධික බදු බරක් පටවන බවත් පෙන්වා දීමට මෙයින් උත්සාහ කර යි. ඒ මෙන් ම පාලකයන් බලයේ සිටින අවදියේ දී  ජිවිත කාලය පුරාවට ම රැකියාවක් නො කර මුදල් ඉපයීම උදෙසා මුදල් ඉපයීමේ ක‍්‍රම සොයාගෙන ඇති බව මේ මගින් දක්වා ඇති අතර මෙම කාටුනය මගින් ද පුළුල් දේශපාලනික කතාවක් දැක්වීමට උත්සහ දරා ඇති බව පෙනේ.
2011 වර්ෂයේ මැද භාගයේ දී ලංකාවේ හාල්වල ආසනික් අඩංගු බවට විශාල මතවාදයක් පැතිරුණි.කාටුන්කරු තම කාටුනයට පාදක කරගෙන ඇති වස්තු විෂය එය යි.මෙහි දී හාල්වල ආසනික් ඇති නිසාවෙන් ජනතාව පාන් පිටි සහිත ආහාර ගැනීමට පෙළඹුන අතර මේ නිසාවෙන් එම ආහාර ද්‍රව්‍යවල මිළ ද ඉහළ ගිය නිසා පාන් පිටි වෙළෙන්දන්ට හා බේකරි හිමියන්ට හොඳ ලාබයක් ලබා ගෙනිමට හැකි විය.එම පුවත කාටුන්කරු ජනතාව අතරට ගෙන යන්නේ ආසනික් දෙවියන් මැවූ දෙයක් ලෙස බේකරි හිමියන් හා පාන් පිටි මුදලාලිලා සිතන බවත් ඔවුන් සින්දු කියමින්,නටමින් සතුටුවන බවත් ය.එහි දී විශාල පිරිසක් ආසනික් හේතුවෙන් අසනීප වී සිටිනවිට ඇතැම් ව්‍යාපාරිකයන් තමගේ පටු අරමුණු මුදුන්පත් කර ගැනීමට හැකි වීම නිසා සතුටට පත්වන බව මෙ මගින් නිරූපණය කෙරේ. මේ අනුව ලංකාවේ ආර්ථික තත්ත්වය හා බහුජාතික සමාගම් මගින් ආර්ථිකයට කරන බලපෑම වක‍්‍රාකාර ව දැකගත හැකි වේ.

මෙම කාටුනය ද ලංකාවේ දේශපාලනය හා ආර්ථිකය පිළිබඳ ගැඹුරින් විවරණය කරන්නක් ලෙස ට දැකගත හැකි වේ.මෙයින් යුද්ධයෙන් පසු ලංකාවේ දේශපාලන හා ආර්ථික තත්වය නිරූපණය කරන අතර සාටකයක් දාගත් නාමල් රාජපක්ෂ විසින් යුද්ධයට පෙර තුවක්කුව අතින් ගෙන ගිය ළමුන් අද පාසල් යන බව පවසයි.ඒ අනුව යුද්ධයෙන් පසු ළමුන්ගේ අධ්‍යාපන තත්වය නගා සිටුවීමට රජය පියවර ගෙන ඇති බව දැක්වුව ද ගෝනියක් කරේ තබාගෙන යන ගැමියෙක් පවසන්නේ එදා තමන් බඩු  ගන්නට කඩයට ගියේ මුදල් ඉනේ ගසාගෙන බවත්,ඒ නමුත් අද මුදල් ගෝනියක් ගෙන බඩු ගැනීමට යාමට සිදු වී තිබෙන බවත් ය. මෙයින් පාඨකයාට දේශපාලනික මෙන් ම ආර්ථික වශයෙන් ද ගැඹුරු අර්ථයක් දැක්වීමට උත්සාහ ගෙන ඇත. යුද්ධය නිමා වී කාලයක් ගෙවී ගිය ද ඒ කාලය තුළ ආර්ථිකය මහජනයාට දැනෙන ලෙස පහර එල්ල කරන බවත්ජීවන බර ඉහළ යන බවත් දැකිය හැකි ය. ඇත්තෙන් ම යුද්ධය නිම වූ පසු සිදුවිය යුත්තේ බඩුමිළ පහළ යාම හා මහජනතාවට සහන ලැබීම යි. නමුත් මෙහි දී සිදුවන්නේ එහි අනිත් පැත්ත ය. ඒ අනුව ආර්ථිකයට දේශපාලනය ඍජු ව බලපෑම් කරන බව මෙයින් ව්‍යංගාර්ථයෙන් පාඨකයාට දක්වා ඇත.


 ඉහතින් පෙන්වා දෙනු ලබන කාටුනය තුළින් ද දේශපාලනික හා ආර්ථික විද්‍යා ප‍්‍රවේශය පිළිබඳ ව මනා ව පැහැදිලි වේ. ඒ අනුව ගෑස්, කිරි පිටි, ඉන්ධන, අත්‍යවශ්‍ය භාණ්ඩ ආදියෙහි මිල ඉහල යාම හේතුවෙන් මහජනතාවට එහි බර දරාගැනීමට නො හැකි ව,එම බරෙන් ම ගැට ගසන ලදු ව එල්ලී සිටි. එසේ එල්ලී සිටින ජනතාව මතට විදුලි බිල නම් වූ විශාල පොදියක් ද දැමීමට පාලකයෝ කටයුතු කරනු ලබති. මේ මගින් පාඨකයාට මිනිසාගේ ජිවන බරෙහි යථා ස්වරූපයඑ නම් ලංකාවේ පවතින ආර්ථික තත්වයෙහි දුර්වලතාවය මෙන් ම පවතින දේශපාලන තත්වයෙහි අහේනිය ද මැනවින් නිරූපණය  කරන්නට, සන්නිවේදනය කරන්නට හැකි වී තිබේ. ඒ තුළින් ග‍්‍රාහක සමාජය වෙතට එල්ල කරනු ලබන බලපෑම ධ්වනිත කර යි.

බහු විෂයයික අංගයන්ගෙන් පරිපුර්ණ වූ සන්නිවේදනය යන්න විග‍්‍රහ කිරීමේ දී සන්නිවේදන ප‍්‍රවේශ මගින් එකී කාර්ය සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.මන්ද එකී කාර්යය සන්නිවේදන ප‍්‍රවේශ මගින් මැනවින් සිදු කර ගත හැකි නිසාවෙනි. සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය තුළින් ද මෙම විග‍්‍රහ කිරීම් සුදුසු පරිදි සිදු කර ගැනීමට හැකියාව ලැබේ.

පුද්ගල මනස පිළබඳ අධ්‍යයනය කරනු ලබන්නේ මනෝ විද්‍යාව තුළිනි. පුද්ගල මනසේ ව්‍යුහය පිළිබඳ මැනවින් පෙන්වා දී ඇත්තේ ”සිග්මන් ප්‍රොයිඩ්” විසිනි.ප්‍රොයිඩ් ට අනුව මනසේ ව්‍යුහය ත‍්‍රිත්වාකාර ව පෙන්වා දිය හැකි ය.ඒ,



1. සුපහන් සිත : (Super Ego) - -  උපරි අහංභාවය ලෙස හඳුන්වයි. උත්තරීතර පරමාර්ථ       
                                                   වෙනුවෙන් ක‍්‍රියා කරන සිත සුපහන් සිත ලෙස         
                                                   හඳුන්වයි.  
2. myka is; ^Ego& -  සහජයෙන් ලැබෙන ආශාවන් පාලනය කරන සිත/ සමාජය      
                                   විසින් අපේක්ෂා කරන පරිදි පාලනයවන සිත පහන් සිත                                                          වේ.                            
3. há is; ^Id& -  පුද්ගලයෙකුට උපතින් ම ලැබෙන සිත යටි සිත වේ.
                                                                                                         යනුවෙනි. 

පුවත්පත් කාටුන දෙස බැලූ කල්හි ද ඒ තුළ මනෝවිද්‍යාත්මක අංගයකින් යුත් ලක්ෂණ දැකිය හැකි ය.ඒ අනුව සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ පුවත්පත් කාටුන් විග්‍රහ කළ හැකි බව පෙන්වා දිය හැකි ය.




















ඉහත දැක්වෙන කාටුනය තුළ පුද්ගලයාගේ මානසික ක‍්‍රියාවලිය මැනවින් නිරුපණයවන සන්නිවේදනය වන කාටුනයක් ලෙස පෙන්වා දිය හැකි ය. තම යටි සිත විසින් සඟවන්නට කොතරම් උත්සාහ කළ ද ක‍්‍රියාවෙන් හා ඉරියවු මගින් එය පිටතට සන්නිවේදනය වේ.මෙහි දී මහින්ද  රාජපක්ෂට ජනාධිපති ධුරය අහිමි වී තිබුන ද නැවතත් මැතිවරණ වේදිකාවට එන්න යයි ඔහුගේ පක්ෂයේ කිහිපදෙනෙක් ආරාධනා කරයි.මහින්ද පවසන්නේ තමා නැවත මැතිවරණ වේදිකාවට නැගීමට අකමැති බවත්,මතු කී ආරාධනා නිසාවෙන් තමා පැමිණෙන බවයි.ඒ නමුත් ඔහුගේ මුහුණින් හා හැසිරෙන ආකාරයෙන් නැවත බලය ගැනීමට පැමිණීමේ නො සන්සිඳුණ ආශාවෙන් සිටින බව ගම්මන්පිලගේ ප‍්‍රකාශයට පසු ඇඳිවත උනා දමා පරණ සුපුරුදු ඇඳුම ඇඳ  ගැනීමෙන් පෙනේ. වචන බොහෝ ගණනකින් සන්නිවේදනය කරන්නට අපහසු කතාවක්,එක කාටුනයක් මගින් සන්නිවේදනය  කිරීමේ උදාහරණයක් ලෙස මෙම කාටුනය පෙන්වා දිය හැකි ය. පුද්ගල යටි සිත, මනසේ ස්වභාවය එහි  ක‍්‍රියාකාරිත්වය, සන්නිවේදනය පිළිබඳ මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ මෙ ලෙස ගෙනහැර දැක්විය හැකි ය.


යථෝක්තයේ දැක්වෙන කාටුනය තුළින් මහින්ද රාජපක්ෂගේ මානසික තත්වය පිලිබඳ  මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ පෙන්වාදිය හැකි ය.විධායක ජනාධිපති නමැති ගසේ තමන් ව ම ගස් බැඳගන්නට සැරසෙන බව මේ මගින් දක්වයි.එහි දී ඔහුගේ සිතේ ඇතිවන සිතුවිලි හා තමන් විසින් දැන දැන ම ඇති කරගන්නා ප‍්‍රශ්න පිළිබඳ මැනවින් විවරණය කරයි.




 ඉහත දැක්වෙන කාටුනය තුළින් ද ජනාධිපතිවරණයෙන් පැරදුණු මහින්ද රාජපක්ෂගේ මානසික තත්වය නිරුපණය කරයි.එහි දී ඔහු බිම ඉඳගෙන සිටින අතර රජ පුටුවෙන් දැන් බිමට වැටී ඇති බව ඉන් ව්‍යන්ගාර්තවත් වේ.අමුඩය ගසාගත් ගම්මන්පිල සහ වීරවංශ දෙදෙනා විසින් මහින්දට නගින්නට තිබෙන ග‍්‍රීස් ගසෙහි ග‍්‍රීස් පිසින ආකාරය දක්නට ලැබේ.කෙසේ වෙතත් නැවත ජනාධිපති වීමේ ඔහුගේ ආශාව මෙයින් නිරුපණය වේ.දිනුම් කණුවට යෑම කෙසේ සිදු කරාන්නේදැයි ඔහු කල්පනා කරමින් සිටින අවස්ථාවේ ගම්මන්පිල හා විමල් දෙදෙනා එක ව ඒ සඳහා මග පාදා දීමට උත්සහ කරනු දැකිය හැකි ය.මේ ආකාරයෙන් මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ද සන්නිවේදනය සිදුවන ආකාරය දැකගත හැකි ය.



ඉහත දැක්වෙන කාටුනය ද මනෝවිද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ විග‍්‍රහ කළහොත් මිනිස් සිත ක‍්‍රියා කරන අන්දම හා ඒ මගින් බාහිරට පෙන්නුම් කරන ලද ඔවුන්ගේ චෛතසික ලක්ෂණ පෙන්නුම් කරනු ලබයි.මෙකී කාටුනය දකින ග‍්‍රාහකයට පළමු ව සිහියට එන්නේ රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කළ කතාව යි.එ කල රෝමයේ ගිනි කන්දක් පිපිරී ගිනි ගන්න විට රෝමයම විනාශ වනු දැන දැනත් එහි පාලකයා ව සිටි නීරෝ විණා වාදනය කළ බව ඉතිහාස කතාවල සඳහන් වේ.රට තුළ විවිද ගැටලූකාරී තත්වයන් මතු ව තියෙද්දිත් මහින්ද රාජපක්ෂ කිසිත් නො දුටු ලෙස සිටින බව මෙම කාටුනය තුළින් අරුත් ගන්වන්නට කටුන්කරු උත්සහ දරා ඇත.මෙහි දී මනෝ විද්‍යාත්මක ව මහින්දගේ සිත තුළ තිබෙන සිතුවිලි චිත‍්‍රණය කිරීමට කාටුන්කරු උත්සහ ගෙන ඇත.

මේ අනුව කාටුන් තුළින් සන්නිවේදනය පිළිබඳ මනෝ විද්‍යාත්මක ප‍්‍රවේශයන් විග‍්‍රහවන අයුරු දැක ගත හැකි ය.

සන්නිවේදනය පිළබඳ සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ද කාටුන් තුළින් ධ්වනිත වන සන්නිවේදනයන් පෙන්වා දිය හැකි ය.සමාජය තුළ පවතින්නා වූ ගැටළුකාරී තත්වයන් පිළිබඳ ව සන්නිවේදනාත්මක දෘෂ්ටි කෝණයකින් කාටුන් පිළිබඳ ව සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ අරුත් ගැන්විය හැකි ය.




ඉහත සඳහන් වන කාටුනය දුටු පමණින් සමාජ යථාර්ථයේ එක පැතිකඩක් මානව පිළිබිඹු වේ.මැතිවරණයට යෝජනා ලබා දීමට ස්ත‍්‍රී දුෂකයන්ට,කුඩු කාරයන්ට.වංචා කාරයන්ට නො හැකි නම් යෝජනා බාර දීමට කව්රුවත් ඉතිරි නො වන බව පවසන්නේ අද වන විට දේශපාලනය කරන සියලූ ම දෙනා එම වැරදි කරන බව එක අතකින් අරුත් ගන්වමින් හා මතූ කී ස්ත‍්‍රී දුෂන, කුඩු ව්‍යාපාර, වංචාව වැනි පිළිල සමාජය වසාගෙන පැතිරී ඇති බව තවත් අතකින් අර්ථවත් කරමිනි.එසේ සමාජය වසාගෙන පැතිරී ඇති මෙම වැරදි කරනා අය රට පාලනය කිරීම සඳහා පත් වුනොත් රටට වෙන දේ පිළිබඳව පාඨකයාට හිතන්නට යමක් ඉතිරි කරමින් සමාජයේ දැවෙන ප‍්‍රශ්න ජනතාව අතරට සන්නිවේදනය කිරීමට කාටුන්කරු සාර්ථක වෑයමක් දරනු පෙනේ.


මතු දැක්වෙන කාටුනයෙන් ද ධ්වනිතවත් වන්නේ සමාජයේ නීතිය ආරක්ෂා කරනු ලබන ආයතනයක් පිළිබඳ ව පාඨකයා දැනුම්වත් කරන පුවතකි. සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ මෙ කී කාටුනය විග‍්‍රහ කළහොත් පොලිසිය නමැති ස්ථානය සමස්ත සමාජය උදෙසා කරනු ලබන බලපෑම,අයහපත මෙ මගින් නිරූපණය කර ඇත.



සන්නිවේදන ප‍්‍රවේශයන් මගින්, විවිධ වූ අංශයන් තුළ සන්නිවේදන කාර්යය සිදු වන ආකාරය මැනවින් දැක ගැනීමට පුළුවන.ඉහත දැක්වෙන කාටුනය තුළින් ද විශද වන්නේ සමාජමය කරුණකි.දේශපාලන බලය, තනතුරු තිබෙන අවස්ථාවේ දී පාලකයන් සිය නාමය ඉහල තබා ගැනීම පිණිස සමාජයට පෙනෙන්නට විවිධ වූ පින්කම් කරයි.මහින්ද රාජපක්ෂ ද ජනාධිපති ව සිටි සමයේ දී එවැනි පින්කම් කළ බව කව්රුත් දනිති. නමුත් ඔහු මැතිවරණයෙන් පරාජය වූ පසු ව එසේ පින්කම් තමන් බලය එහි කාලයේ දී කළ බව කියමින් තමන් කලින් කළ දේවල් කියමින් සිටින බව කාටුන්කරු දක්වයි.මෙහි දී පාලකයන් බලය ඇති විට දී හා බලය නැති විට දී සමාජයට කරන ක‍්‍රියාවන් පිළිබඳ ව මෙහි දී දැකගත හැකි ය.සන්නිවේදනය පිළිබඳ සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ ගත් කල දී සමාජය තුළ ඇති මේ වැනි ගැටලුකාරී තත්වයන් මැනවින් විග‍්‍රහ කළ හැකි ය.


 වර්තමානය ගත් කළ ගෘහයක නැතිව ම බැරි උපකරණයක් ලෙස රුපවාහිනිය පෙන්වා දිය හැකි ය.තාක්ෂණයේ දියුණුවත් සමඟ ලොව පුරා ඒ සැනින් සිදුවන සිදුවීම් ග‍්‍රාහකයා කරා ඒ වෙලේ ම රැගෙන ඒමට සන්නිවේදන මාධ්‍යයන්ට හැකියාව ලැබේ.ඉහත දැක්වෙන කාටුනය තුළින් ද සමාජමය පැතිකඩක් නිරුපණය වේ.මේ මගින් එක පැත්තකින් දේශපාලනයේ යථා ස්වභාවය නිරුපණය කරයි.අනෙක් පසින් මාධ්‍ය මගින් කුටුම්භ ජීවිතයට, සමාජයට කරන බලපෑම ද මේ මගින් ධ්වනිත වේ.මෙ කී කාටුනයේ දරුවාගේ මුහුණ බැඳ ඉන් පසු රූපවාහිනිය ක‍්‍රියාත්මක කරන්නට යැයි පවසන්නේ පාර්ලිමේන්තු විවාද රූපවාහිනියෙන් සජීවී ව පෙන්නන නිසාවෙනි.මෙහි දී පාර්ලිමේන්තුවේ තිබෙන ප‍්‍රචණ්ඩත්වය මෙ මගින් නිරූපණය කිරීමට උත්සහ දරා ඇත.මෙ වැනි කාටුන් තුළින් සමාජයට විශාල බලපෑමක් කරනු ලබයි. ඒ මන්ද යත් පවතින දේශපාලන තත්වයත්, මාධ්‍ය මගින් සිදු කරනු ලබන බලපෑමත් මනා ව සන්නිවේදනය කරනු ලබන බැවිනි.


මෙම කාටුනය මගින් ද සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ මැනවින් විග‍්‍රහ කළ හැකි ය. සමාජයේ පවතින ගැටළු කාටුන් තුළින් ග‍්‍රාහකයා කරා ළඟා කරවීම මගින් සමාජයට විශාල බලපෑමක් සිදු කළ හැකි ය. බඩගෝස්තරවාදී දේශපාලන පාලකයන්ගේ නො මනා ක‍්‍රියාකලාපයන් හා ඔවුන් තමන්ගේ යහපත පමණක් සිතන ආකාරය මෙම කාටුනය මගින් අරුත් ගන්වයි. මාළු කෑල්ලක් කාපු කාලයක් මතක නෑ යනුවෙන් පාරිභෝගිකයන් පවසා සිටින කළ පාලකයන් පවසන්නේ ඔවුන්ට ද මතක නැති බවයි.තමන් මස් කටුවක් අතේ තබාගෙන ඔවුන් මෙම කියමන කියා සිටිය ද ග‍්‍රාහකයාට ඒ මගින් දෘශ්‍ය වන්නේ පාලකයන්ගේ බඩගෝස්තරවාදය යි. සමාජ විද්‍යාත්මක ප‍්‍රවේශය යටතේ මෙය මැනවින් අරුත් ගන්වගත හැකි ය.

මේ අනුව බලන කල පුවත්පත් කාටූන මගින් පවතින සමාජ, අාර්ථික, දේශපාලනික ප්‍රශ්න හාස්‍ය දනවන අාකාරයෙන් ඉදිරිපත් කිරීමට කාටුන්කරුවන් උත්සාහ ගන්නා බව දැකගත හැකි අතර බැරෑරුම් සමාජමය කරුණු සරළ ලෙස සමාජගත කිරීමට කාටුනයට හැකියාව තිබෙන බව ද  මේ අනුව පෙන්වාදිය හැකි ය.