Tuesday, May 23, 2017

කිරි කිරි බොලේ..

       යම් කිසි දෙයක් තුලින් අප බලාපොරොත්තු වන දේ සිදු නො වන්නේ නම් ඒ වෙනුවට වෙනත් දෙයක් ඉදිරිපත් කිරීම විකල්පයක් ලෙස සරල ව ම අරුත් ගැන්විය හැකි ය. වහල් සමාජ ක‍්‍රමයට විකල්පයක් ලෙස වැඩවසම් සමාජ ක‍්‍රමය බිහි වූ අතර ඒ කී වැඩවසම් සමාජ ක‍්‍රමයට විකල්පයක් ලෙස ධනවාදී සමාජ ක‍්‍රමය බිහි කරගති. තවමත් ලෝකයේ බොහෝ රටවල පවතින්නේ මෙ කී ධනවාදී සමාජ ක‍්‍රමය වුව ද දැන් දැන් බොහෝ දෙනා මෙ කී ධනවාදී සමාජ ක‍්‍රමය වත්මනට නො ගැලපෙන බවත් එයින් බහුතරය පීඩාවට පත්වන බවත් එ හෙයින් එයට සමාජවාදය හෝ ප‍්‍රතිසංස්කරනවාදය හෝ විකල්පයක් ලෙස ගෙන ආ යුතු බවත් යෝජනා කරති.
        ජනප‍්‍රිය සංස්කෘතිය නියෝජනය කරන සාහිත්‍ය අංගයන් අතර ගීතයට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර අන් සෑම දෙයකට මෙන් ම ගීතයට ද පොදු වූ සමාජ වගකීමක් තිබේ. ගීතයෙන් සමාජයට සිදු විය යුතු සේවය වර්තමානයේ බිහිවන ගීතවලින් ඉටු නො වන නිසාවෙන් එයට විසඳුමක් ලෙස බිහි වූ ගීත ලෙස විකල්ප ධාරාවේ ගීත හැඳින්විය හැකි ය.මේ කී ගීත අනිකුත් ගීත අතරින් වෙනස් වන්නේ ඒවා තුලින් බොහෝවිට සමාජයේ සිදුවන ප‍්‍රශ්න, අසාධාරනකම්, ගැටළු සාකච්චා කිරීම නිසාවෙන් ය.පවතින ගීතයට අභියෝග කරන විකල්ප සංගීතය පුද්ගල චින්තනයට ආමන්ත‍්‍රණය කරන මාධ්‍යයක් ලෙස ද සඳහන් කල හැකි ය.
        වර්තමානයේ ගීත බිහිවන්නේ ආර්ථික අරමුණු මුදුන්පත් කරගැනීමට වුව ද මෙ කී විකල්ප ධාරාවේ ගීත මගින් බලාපොරොත්තුවන්නේ හුදෙක් ආර්ථික අරමුණු නො ව යහපත් සමාජයක් ඇති කිරීම සඳහා අසන්නන්ගේ චින්තනය දියුණු කිරීමට ය.බොහෝ විට මෙ කී ගීත සමාජයේ බොහෝදෙනා අතරට නො යන්නේ ඒවා මාධ්‍ය මගින් ප‍්‍රචාරණය වන ප‍්‍රවණතාවය අඩු නිසාවෙන් ය.එසේ අසන්නට ලැබුන ද බොහෝ දෙනා එ කී ගීත අර්ථයක් නැති අඩවැඩියාවක් බවට අර්ථකථනය කරන්නේ මෙ කී ගීත අනෙකුත් බොහෝ ගීත මෙන් ශබ්ද රසය පිළිබඳ ව පමණක් සිතා නිර්මාණය කරනු ලැබූ ගීත නො වන නිසාවෙන් ය.එ නම් මෙම ගීත අසන්නාගේ මනසට කතා කරන වර්තමානයේ බොහෝ දෙනා එල්ලී සිටින සිහින ලෝකයෙන් අවදි කිරීම සඳහා කතිකාවක් ගොඩනැගීමට උත්සහා ගන්නා තවත් සාහිත්‍ය අංගයක් නිසාවෙන් ය.
        අතීතයේ පටන් ම ගුණදාස කපුගේ ශුරීන්ගේ කම්පන තුලින් ද, නන්දා මාලිනියගේ පවන තුලින් ද පවත්නා සමාජ ක‍්‍රමයේ ඇති අර්බුදය පාඨකයා තුළ ප‍්‍රකම්පනය කිරීමට උත්සහ ගෙන ඇති බව දැකගත හැකි ය. වර්තමානයේ චින්තක ගිතදේව, අජිත් කුමාරසිරි, ශාක්‍ය වීරසිංහ, පාලිත අබේවර්ධන, වැනි නව පරපුරේ කලාකරුවන් මෙ කී විකල්ප ධාරාවේ කලාකරුවන් ලෙස ගීතය මගින් සමාජයේ ඇති ප‍්‍රශ්න ජනතාව තුලට රැගෙන යාමට උත්සහ කරන ආකාරය දැකගත හැකි ය.
        කෙසේ වෙතත් විකල්ප ධාරාවේ ගීත නිර්මාණය කරන නව පරපුරේ සෙසු කලාකරුවන් අතර චින්තක ගීතදේව කලාකරුවාට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔහු තම ඝෝෂා” සංගීත කණ්ඩායම සමග තම නිර්මාණ තුළින් මතු කී සමාජ ප‍්‍රශ්න, සමාජ අර්බුද, ආර්ථික අර්බුද ආදී සමාජයේ කී නොකී සියලූ ම ප‍්‍රශ්න තම නිර්මාණකරණයට පාදක කරගන්නා නිර්මාණකරුවෙකු ලෙස හඳුන්වාදිය හැකි ය. හැම තැනම මරු වැල් ය”, උයනක් කියන්නේ මේක ද?”, විසිරුණු පිනි වගේ”, මාලේ ගෙලේ චේ පපුවේ”,කැස්සයි ආදරෙයි”, මල් යායක එක මලක් වෙන්නකෝ” වැනි ගීත තුළින් මිනිසුන් නො බලන පැතිකඩක් නිරුපණය කිරීමට උත්සාහ ගෙන තිබෙන ආකාරය දැකගත හැකි වේ.
        එසේ ම ඔහුගේ තවත් විකල්ප ධාරාවේ ගීතයක් ලෙස ගත හැකි කිරි කිරි බොලේ” ගීතය ද අද සමාජයේ ඇති සත්‍ය ස්වරූපය පෙන්වන ගීතයක් ලෙස පෙන්වා දිය හැකි ය.මොහුගේ අනෙකුත් ගීත මෙන් ම මෙම ගීතය ද ආකල්පමය වශයෙන් ද, ආකෘතිකමය වශයෙන් ද, සංගීතය යොදා ඇති ආකාරයෙන් ද, ගායනා කරන ආකාරයෙන් පමණක් නො ව යොදා ගන්න සංගීත භාණ්ඩවලින් ද සාමාන්‍යයෙන් ලියැවෙන ගීතවලට වඩා විශේෂිත ගීතයක් ලෙස පෙන්වාදිය හැකි ය. තම ගීත තුළින් පවතින ගීතවලින් වෙනස් වූ විකල්පයක් සෙවීමට උත්සාහ කරන ගීතදේව මෙ කී ගීතය මගින්, යම් තරමකට පවතින සමාජ ක‍්‍රමය වෙනුවට විකල්පයක් සෙවීමට ගෙන ඇති උත්සාහය අපට දැකගත හැකි වේ.

මෙහි මුල් කොටස දකිනවිට අපට මතක්වන්නේ කුඩා කාලයේ දී කළ ළමා ක‍්‍රීඩාවකි.
                           කිරි කිරි බොලේ රැළි රැළි මාලේ
                            මේ ළමයා කොහෙන්දෝ
                            රෝස කැලෙන් අහින්දෝ....”
        මොහු මෙම ගීතයේ මුල් කොටසේ දී එකම වචනය නැවත නැවත යොදා ඇති ආකාරයක් දැකිය හැකි අතර එසේ යොදා ඇත්තේ කුඩා කළ සිට ම අප සිත් තුළ රැඳී තිබෙන මෙම වචන තුලින් ගීතය අසන්නාගේ හදවතට තව තවත් ලං කිරීම සඳහා බව කිව හැකි ය
         බැලූ බැල්මට මෙම දෙ පදය මතු දැක්වූ අප කුඩා කාලයේ දී කළ ජන ක‍්‍රීඩාවක කොටසක් ලෙස පෙනුන ද එහි සඟවා ඇති යටි අරුත අතිශයෙන් සංකීර්ණ බව මෙම ගීතය විශ්ලේෂණය කිරීමේ දී අපට දැකගත හැකි වේ. එ නම් රචකයා කිරි කිරි බෝලේ යන්නෙන් දක්වා ඇත්තේ මවගේ තනය යි. එසේ ම රැළි මාලේ යන්නෙන් අරුත් ගන්වා ඇත්තේ මව හා දරුවා සම්බන්ද වී තිබෙන පෙකණි වැල යි. මේ ලෝකයට ජීවියෙකු බිහි වීමට අත්‍යවශ්‍ය ම සාධක දෙකක් ලෙස මෙ කී කාරනා දෙක  දැක්විය හැකි ය. මෙ ලොවට බිහිවන සෑම ජීවියෙකුට ම මුහුණ දීමට වන සමාජ ප‍්‍රශ්න පිළිබඳ ව කතිකා කිරීම සඳහා ගිතදේව මෙයින් පිවිසුමක් ලබන ආකාරය දැකගත හැකි වේ.
                           පීස කෑවෙත් නෑ තොසේ කෑවෙත් නෑ..//
                            රෝස කැලේ රෝස මල් අතර
                            රෝස පැණි බි බී රෝස මල් එක්ක
                            මං හරි සතුටින් එහි හිටියේ..//”
        මෙම කොටස බලන විට එහි දක්වා ඇත්තේ සමාජයේ ඇති පන්තිභේදය යි. වර්තමානයේ එක කොටසක් පීස කනවිට තවත් කොටසක් තොසේ කන තත්වය ට පත් ව ඇති බව මින් දක්වා ඇත.එ නම් ධනපතියන් සමාජයේ සිටින පීඩිත පන්තිය සූරා කමින් ඉහල තලයේ වැජඹෙන විට ඔවුන් සිටිනා සමාජයේ ම තවත් තැනක නිර්ධන පාන්තිකයන් එදා වේල පිරිමසා ගැනීමට අපා දුක් විඳින ආකාරය මෙ මගින් ගම්‍ය කිරීමට මොහු උත්සුක වී ඇත.
           ගීතයේ දක්වා ති ප‍්‍රාණියා මෙම සමාජයට එන්නට කලින් රෝස කැලයක, රෝස මල් අතරට වී රෝස පැණි බි බී සතුටින් කාලය ගත කළ බවක් රචකයා දක්වයි. මෙම අන්තරා කොටසේ අරුත විමසීමට ගීතයේ මුල් කොටස වැදගත් වේ. මොහු මෙහි රෝස කැලයක් යැයි දක්වා ඇත්තේ මවගේ කුස තුළ සිටින කළල අවස්ථාවේ දී බව එයින් අදහසක් ගත හැකි වේ. එ නම් මවගේ කුස තුළ සිටින අවස්ථාවේ දී එම ජීවියා ට සමාජයේ තිබෙන ප‍්‍රශ්න, පන්ති භේදය, ඇති නැති පරතරය ආදී කිසිවක් අදාළ වන්නේ නැත, දැනෙන්නේ නැත. කොටසක් පීසා කද්දී තවත් පිරිසකට තෝසයක්වත් කන්නට නොලැබෙන තරම් විෂම වූ මෙ කී සමාජයකට මෙම ජීවියා එන්නේ රෝස කැලයක සිට බව රචකයා උපහාසයෙන් දක්වා ඇත්තේ එ කී සමාජ ක‍්‍රමයේ තිබෙන වේදනාව, මිනිසුන් විඳින දුක මව් කුස තුළ සිටින විට නො දැනෙනවා යැයි දක්වමිනි.
                        කපුටෙක් ගෙනාත් දාපු දා පටන්..//
                          රෝස වලා මැද රෝස මලක් ලෙස
                          යාලූ වෙවී රෝස මල් එක්ක
                          මං විනෝදෙන් එහි හිටියේ..//”
                                මෙම කොටසින් මොහු දක්වන්නේ ද මතු කී අදහසම ය. ජන කවියේ දක්වා ඇති  පරිද්දෙන් ම කපුටෙක් ගෙනත් දාපු දා පටන් යන්න මොහු ගන්නට ඇත. මෙහි අර්ථය එ කී පදයෙන් බොහෝ දුරට සංකීර්ණ වී ඇති ආකාරයක් දැකගත හැකි වේ. මවක් කොතරම් දුප්පත් වුව ද දරුවෙක් කුසට ආ දවසේ සිට එම දරුවා බිහිවන දවස දක්කවා ත්, බිහි වූ පසු වැඩි විය පැමිණෙන තෙක් ද තමාගේ ලෝකය කටු යහනාවක් වුව ද තම දරුවාගේ ලෝකය රෝස කැලයක් කිරීමට උත්සහ ගනී.එ බැවින් දරුවා මෙ ලොව එලිය දක්නට පෙර ඔහුට මවගේ කුස රෝස කැලයකි. මව අනේක දුක් වේදනා වින්ද ද සමාජයේ කොතරම් ප‍්‍රශ්න තිබුන ද දරුවා මව් කුස තුළ සිටින්නේ සතුටින් ය.ඔහු මව් කුසට පැමිණෙන්නේ කොහේ සිට කොහොමද යන්න නො දන්නවා වුව ද එය ඔහුට අදාළ ප‍්‍රශ්නයක් නො වී ඇත.කෙසේ වෙතත් රචකයා මෙහි දී රෝස කැළේ යනුවෙන් ව්‍යංගයෙන් පුන පුනා පවසන්නේ මෙ කී සමාජයට වඩා යහපත් හැමෝටම සතුටින් සිටිය හැකි සමාජ ක‍්‍රමයක් විය යුතු බව මෙම ගීතයේ සෑම කොනක ම ගෑවී ඇති රෝස කැලය නම් වචන නිසාවෙන් සිතිය හැකි ය.
                               හිතක් පපුවක් කියා දෙයක් නොතිබුන නිසා
                                 දුකක් සතුටක් කියා දෙයක් නොදැනුන නිසා
                                 හොඳක් නරකක් කියා දෙයක් තේරෙන්නැති නිසා
                                 මං සැහැල්ලූවෙන් එහි හිටියේ....//”              
           කෙසේ වෙතත් මෙහි යටි අරුත විමසන විට මොහු ඉස්මතු කිරීමට උත්සුක වී ඇත්තේ අද සමාජයට සිදු වී ඇති පිරිපත අසන්නා තුළ කම්පනය කිරීමට විය යුතු ය. එ නම් වර්තමාන සමාජයේ මිනිසුන් සමාජීය, ආර්ථික, දේශපාලනික, ආගමික පමණක් නො ව මානසික වශයෙන් ද පීඩාවට පත් ව ඇති බව දැකිය හැකි ය. වර්තමානයේ දී ඇත්ත වශයේ ම මිනිසුන්ගේ හිතක් පපුවක් කියා ඇති දෙය මෙ කී සමාජ ක‍්‍රමය විසින් ම අහිමි කර ඇති බවත්, සෑම දෙනා ම තමන් ගැන පමණක් සිතන තැනට අද සමාජය තල්ලූ වී ඇති බවත්, එ සේ ම මිනිසුන් දුක සතුට නොදැනෙන යන්ත‍්‍ර බවට පරිවර්තනය වී ඇති බවත් ඔවුන් තමාගේ හෝ තම පවුලේ යහපත වෙනුවෙන් හොඳ හෝ නරක හෝ නො බලා  ඕනෑම දෙයක් කරන තැනට පත් ව ඇති බවත් එ හෙයින් ඔවුන්ට අන් අයගේ දුක දැක ඒ පිළිබඳ දයාබර වී, කම්පිත වී නෙතින් කඳුලක් හෝ නො නගා ගොළු වී සිටීමට සිදු වන තරමට ම වර්තමාන සමාජය පිරිහී ඇති බව මෙයින් දැක්වීමට ගීතදේව උත්සහ ගෙන ඇත.
                                   ඒ රෝස කැලෙන් මෙ වේස කැලේකට..///
                                     මාව ගෙනාවේ අයි අම්මේ...///”
                                මෙම ගීතයේ උච්චතම අවස්ථාව ලෙස මෙම දෙ පදය හඳුන්වාදිය හැකි ය. එ නම් මොහු මෙහි දී තම මවගෙන් ප‍්‍රශ්න කරන්නේ මෙ තරම් පිරිහුණු, හිතක් පපුවක් නැති, හොඳ නරක තේරෙන්නැති, ධනපතියන් විසින් නිර්ධන පාන්තිකයා ව සූරා කන මෙ කී කුරිරු වූ ත්, විෂම වූ ත් සමාජයට මව් කුස නමැති රෝස කැළේ සිට මාව ගෙනාවේ ඇයි කියා ය. ඔහු තමාව මේ ලෝකයට බිහි කළ මවගෙන් ම මෙසේ ප‍්‍රශ්න කරන්නේ එ තරම් ම අද සමාජය මිනිසුන්ට නිදහසේ සැහැල්ලූවෙන් ජිවත් වීමට තරම් සුදුසු සමාජයක් නො වන බව දැක්වීම සඳහා විය යුතු ය.
            සමාජය විසින් ම අසභ්‍ය යැයි හඳුන්වන ”වේස” යන වචනය ම මොහු මෙහි භාවිත කර ඇත්තේ සමාජයේ දූෂිත බව පෙන්වීම සඳහා ය. මෙම ගීතය අසන්නෙක් තුළ ඇත්තටම මේ කියන සමාජය වේස කැළයක් නොවේ ද යන්න මදක් හදවතට තට්ටු කර අසන්නට අවස්ථාවක් මින් ගම්‍ය කිරීමට මොහු උත්සාහ ගෙන ඇත. කෙසේ වෙතත් මෙම ගීතය පුරාවට ම වර්තමාන සමාජයට වඩා යහපත් විකල්ප සමාජයක් රෝස කැළයක් ලෙස දක්වා ඉදිරිපත් කිරීමට ගීතදේව උත්සහ ගෙන ඇති බව දැකගත හැකි ය.
                සමස්තය දෙස බලන කල වර්තමානයේ ආර්ථික, දේශපාලනික, සමාජීය ආදී සියලූ අතින් ම පවත්නා සමාජ ක‍්‍රමය දුෂණයට ලක් වී ඇති බවත්, ඇති මිනිසුන් සැප විඳින විට නැති මිනිසුන් අපා දුක් විඳින බවත්, එසේ දුක් විඳින්නට සිදු ව ඇත්තේ මතු කී සුළු පිරිසකට සැප විඳින්නට අන් සියල්ලන්ගේම ශ‍්‍රමය ධනය සුරාකෑම නිසාවෙන් බවත් දැකගත හැකි වේ. ඒ නිසාවෙන් වර්තමානයේ පවත්නා සමාජය වේස කැලයක් වී ඇති බවත්, එ කී වේස කැලෙන් රෝස කැලයක් ලෙස හඳුන්වා දිය හැකි සමාජවාදී සමාජ ක‍්‍රමයකට හෝ ප‍්‍රතිසංස්කරණවාදී සමාජ ක‍්‍රමයකට හෝ, මිනිසුන්ට සතුටින් සැහැල්ලූවෙන් සිටිය හැකි වඩා හොඳ විකල්ප සමාජ ක‍්‍රමයකට මාරු වීමට කාලය එළඹ ඇති බවත් මෙම ගීතය පුරාවට ම රචකයා කියන්නට උත්සහ ගෙන තිබේ. ඇතැමුන් අසභ්‍ය වචනයක් එක් කර ඇති නිසාවෙන් ප‍්‍රතික්ෂේප කරන මෙම ගීතයේ යටි අරුත විමසා බැලීමේ දී ප‍්‍රතික්ෂේප කළ යුත්තේ ගීතය නො ව පවත්නා සමාජ ක‍්‍රමය බව වැටහෙනු නිසැක ය.බොහෝ දෙනා අසා වත් නොමැති, අසන බොහෝ දෙනා විසින් රචකයා හෝ ගායකයා පිස්සෙක් ලෙස හංවඩු ගසන මෙ කී ගීත තුලින් සමාජ ශෝධනය සඳහා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමට ගන්නා උත්සාහය ප‍්‍රශස්ත බව කිව යුතු ය.

2 comments:

  1. Geetha wicharayaka thibiya yuthu boho sadakayan daknata lebenawa.. thawa gee wicharayanhi yedennata obata jaya...

    ReplyDelete
  2. mme wage tawat ewa liyapan mcn.umbata jaya

    ReplyDelete