Friday, June 30, 2017

වෙබ් අඩවි තුළ මාධ්‍ය ආචාරධර්මයන්ගේ කි‍්‍රයාකාරීත්වය

මාධ්‍ය යනු ජනතාව වෙත තොරතුරු,අදහස් හා දැනුම සම්පේ‍්‍රෂණය හෙවත් සන්නිවේදනය කරන මාර්ගය යි.අතීතයේ සිට වර්තමානය දෙස බලන කල විවිධ මාධ්‍ය දැකගත හැකි ය. එ වැනි මාධ්‍ය ලෙස"

                                            1. මුද්‍රි මාධ්‍ය
                                            2. විද්‍යුත් මාධ්‍ය
                                            3. ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය
                                            4. නව මාධ්‍ය
යන් පෙන්වා දිය හැකි ය.

ඉහත සඳහන් වන සියලූ ම මාධ්‍ය මගින් ග‍්‍රාහකස්ථානය කරා විවිධ අයුරින් තොරතුරු සම්පේ‍්‍රෂණය කරන ආකාරයක් දැකගත හැකි ය. ඒ අනුව ජනමාධ්‍ය ආයතන මගින් නිෂ්පාදනය කරනු ලබන නොයෙකුත් සංදේශයන් නොයකුත් රුචි අරුචිකම් සහිත ග‍්‍රාහක පිරිසක් තම අවශ්‍යතා සපුරා ගනු වස් පරිහරණය කරන බැවින් මාධ්‍යයන්ගේ අරමුණ ද විවිධාකාර වේ. එම නිසා ජනමාධ්‍යවේදීන් ජනතාව වෙත ගෙන යන ප‍්‍රවෘත්ති වාර්තා හා විශේෂාංගවල අවංක භාවය හා සත්‍යවාදී භාවය ඉතා වැදගත් වේ. මේ නිසා වෘත්තීය ජනමාධ්‍යකලාවේදීන් ඉතාමත් වැදගත් සාධක දෙකක් ඔස්සේ තම කර්තව්‍යය සිදු කළ යුතු ය. ඒවා නම්,

·         පණිවුඩයේ විශ්වසනීයත්වය
·         මුලශ‍්‍රයේ විශ්වසනීයත්වය යි.

තව ද ප‍්‍රවෘත්තියක, වර්තාවක හා විශේෂාංගයක විශ්වසනීයත්වය පාඨකයා තුළ ඇති කිරීමට නම් එය නිවැරදි සත්‍ය සිදුවීමක් විය යුතු ය. එ ලෙස ම එම නිර්මාණය හෝ ප‍්‍රවෘත්තිය හෝ වාර්තාව මෙන් ම විශේෂාංගය සමස්ත වශයෙන් සමබර හා පැහැදිලි බවකින් යුක්ත විය යුතු ය. එවිට විශ්වසනීය තොරතුරක්, දැනුමක්, අධ්‍යාපනයක් තමන්ට ලැබෙන්නේ යැයි ග‍්‍රහකයට තෘප්තිමත් විය හැකි ය. 

එ මෙන් ම මාධ්‍යවේදියා සෑම අවස්ථාවක දී ම සත්‍යය දේවත්වයෙහි ලා සැලකිය යුතු ය. එ මෙන් ම ජනමාධ්‍යයන්ගෙන් ප‍්‍රතිලාභ ලබන්නන් වන ජනතාව වෙත තම යුතුකම හරි හැටි ඉටු කළ යුතු ය. ජාතික ආරක්ෂාව හෝ වෙනයම් නීතිමය තත්වයක් ආරක්ෂා කළ යුතු ය.

තව ද ජනමාධ්‍ය විසින් සෑම විට ම"

  •          ආරක්ෂකයෙකු වශයෙන්
  •          මණ්ඩපයක් වශයෙන්
  •          ගුරුවරයෙකු වශයෙන් 

සිටිමින් තමා සතු වගකීම ග‍්‍රාහකයා වෙනුවෙන් විධිමත් ආකාරයෙන් අදිරිපත් කළ යුතු ය.

නමුත් නුතනය වනවිට ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය දෙස බැලූ කල ඒ තුළින් ඉටු වන්නා වූ සමාජ වගකීම් පිළිබඳ ව විවිධ වූ ගැටලූකාරී තත්වයන් මතු ව ඇති ආකාරයක් දැකිය හැකි ය. එ වන් සමාජ වගකීම් විරහිත ගැටුම්කාරී තත්වයන් පිළිබඳ කතා කිරීමේ දී පෙනී යන්නේ මුල් අවධියේ දී මුර බල්ලන්” ලෙස ක‍්‍රියා කළ මාධ්‍ය අද වන විට ඔඩොක්කු බල්ලන්” ලෙස පහතට වැටි ඇති ආකාරය යි. 

ඉහත දැක්වෙන ගැටුම්කාරී තත්වයන් පිළිබඳ ව සාකච්චා කරන විට වාරණය"දොරටුපාල සංකල්පය"ආචාරධර්ම යන සාධකවල අවශ්‍යතාව කැපී පෙනේ.

ජනමාධ්‍ය තුලින් තම අදහස් පළ කිරීමේ නිදහස මහජනතාවට ද තිබිය යුතු ය. එ විට හැකිතාක් කඩිනමින්"කාර්යක්ෂම ව තම කාර්ය භාර්යය ඉටු කර ගැනීමට"ප‍්‍රමාණවත් ලෙස තොරතුරු දැන ගැනීමට මහජනතාවට හැකි වේ. ඒ මගින් සමජයේ මෙන් ම ආණ්ඩුවල යහ පැවැත්මක් ද ඇති වේ. ජනමාධ්‍ය නිදහස හා අදහස් පල කිරීමේ අයිතිය පෞද්ගලික මිම්මෙන් ම සමාජමය අයිතියක් ලෙස පවති යි.

මෙ වැනි පසුබිමක් යටතේ පවතින මෙ රට මාධ්‍ය කලාව යම්තාක් දුරට හෝ සමාජ වගකීමෙන් යුතු ව"ආචාරධර්ම සුරකිමින් මාධ්‍යකරණයේ යෙදෙන පසුබිමක් සමාජයේ බිහි කළ යුතු ය. 

මුද්‍රිත මාධ්‍ය ශ‍්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයන් වගේ ම නව මාධ්‍යයන් යටතේ එන වෙබ් අඩවිවලටත් ආචාරධර්ම පද්ධතියක් තිබීම අත්‍යවශ්‍ය වේ. පුවත්පත්වලට ද ආචාරධර්ම පද්ධතියක් තිබෙන අතර 2008 වසරේ ජනමාධ්‍ය විද්‍යාලය හා පුවත්පත් පැමිණිලි කොමිසම එක් වී එම ආචාරධර්ම නැවත සකස් කොට වෙබ් අඩවි පිළිබඳව ද ආචාරධර්ම ඇතුලත් කර ඇත. වර්තමානයේ දී ඇතැම් බ්ලොග් අඩවි පවත්වාගෙන යන පිරිස් ද මාධ්‍යකරුවන් බවට පත් වී ඇත. ජනමාධ්‍යකරණයේ නියැලීම වෘත්තීය මාධ්‍යකරුවන්ට සීමාවූවක් පමණක් නො ව එය  ඕනෑම පුරවැසියෙකුට දායක විය හැකි ක‍්‍රමවේදයක් වී ඇත. එය හේතු කොට ගෙන වෘත්තීය මාධ්‍යවේදීන්ට පමණක් නො ව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නියැලෙන  ඕනෑම පුරවැසියෙකුට ම මෙම ආචාරධර්ම සුරැුකීමේ වගකීමක් ඇති බව පෙන්වා දිය හැකි ය.

තව ද 1994 පසු විද්‍යුත් මාධ්‍යකරණයේ පරිවර්තනීය වෙනසක් දක්නට ලැබෙන අතර රාජ්‍ය ඒකාධිකාරී මාධ්‍ය භාවිතයට පෞද්ගලික නාලිකා පැමිණීමත් සමග තොරතුරු සන්නිවේදන ක්ෂේත‍්‍රය පුළුල් ස්වභාවයක් මෙන් ම සංකීර්ණ ස්වභාවයක් ද ගෙන ඇති බව දක්නට ලැබේ. අද වන විට විද්‍යුත් හා මුද්‍රිත සහ නව මාධ්‍ය භාවිතයට වඩා සමාජ මාධ්‍ය භාවිතය සංකීර්ණ වී තිබෙන අතර එය සමාජ ජිවිතයට පමණක් නො ව පුද්ගල ජිවිතයට ද බලපෑම් කරන මට්ටමකට පැතිර ගොස් ඇති ආකාරය ද දක්නට ලැබේ.

වර්තමානයේ දී වෙබ් අඩවි බ්ලොග් අඩවි හෙළිදරව් කරන ඇතැම් තොරතුරුවල නිවැරදි භාවය එහි කතෘත්වය පිළිබඳ අවිනිශ්චිතතාවයක් නිර්මාණය කර ඇත. ඇතැම් තොරතුරු"සිද්ධීන්ට අදාළ පුද්ගලයන් පමණක් නො ව ඔහුගේ හෝ ඇයගේ සමීපතමයන්ට ද බලපෑම් කරන මට්ටමකට පත් ව තිබේ.

වර්තමාන මාධ්‍ය භාවිතය තුළ ස්වයං පෙළඹුමක් මත ආචාරධර්ම පද්ධතියක් ආරෝපණය කරගෙන ඇතැයි සිතිය නො හැක. විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය මෙන් ම අන්තර්ජාල මාධ්‍ය භාවිතයේ දී අණපනත් මගින් ආචාරධර්ම පැනවීම පිළිගත නො හැකි තත්වයකි. රජය ද එවැනි පෙළඹුමකට කිසිසේත් උත්සහ නො කරන බව ද ස්ථිර ලෙස ම ප‍්‍රකාශ කර තිබේ.

ආචාරධර්ම පද්ධතියක පැවතිය යුතු මූලික ම ගුණාංගය වන්නේ පුද්ගලික භාවයේ අයිතිය යි. එය උල්ලංඝනය කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමෙන් පලක් නැත. ආචාරධර්ම පිළිබඳ කතිකාව මෙ තරම් පුළුල් වීමට හේතුවක් වී ඇත්තේ පෞද්ගලික භාවහේ අයිතිය සහ තොරතුරු ප‍්‍රකාශ කිරීමේ අයිතිය හේතුවෙනි. විශේෂයෙන් ම අන්තර්ජාලය භාවිතයේ ඇති සමාජ මාධ්‍ය ඉතා බරපතල ලෙස පෞද්ගලික භාවයේ අයිතිය උල්ලංඝනය කරන බවට චෝදනාවක් පවතියි. එ සේ ම තාක්ෂණයේ ඇත්තා වූ අති නවීනත්වය තුළ සාම්ප‍්‍රධායික නීති අණපනත් හෝ වෙනත් ප‍්‍රථමික ක‍්‍රමවේදයන් මගින් තොරතුරු සන්නිවේදනය වීම ද වැළැක්වීමට නො හැකි ය. මේ අයුරින් කිව හැක්කේ අන්තර්ජාලය තුළ පවතින විවිධ වෙබ් අඩවි තුළ ආචාරධර්ම පිළිපැදීම මෙන් ම කඩවීම පිළිබඳව ද අධ්‍යයනය කිරීම ද ඉතා වැදගත් බවයි.

ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කර ඇති ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහයෙහි හැඳින්වීමෙහි අනෙකුත් මාධ්‍යයන් ආචාරධර්මයන් පිළිපැදිය යුතු වනවා සේ ම වෙබ් අඩවි පවත්වාගෙන යාමේ දී ද ආචාරධර්මයන්ට එකඟව එය පවත්වාගෙන යා යුතු බව මෙ පරිදි සඳහන් කළ හැකි ය.

ජනමධ්‍යවේදයෙහි උසස් ම ප‍්‍රමිති පවත්වාගන්නා අතර ම ශ‍්‍රී ලංකාවේ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සහ වෙබ් අඩවිවල අන්තර්ගතය නිදහස්,වගකීම් සහගත හා පාඨක / පේ‍්‍රක්ෂක උවමනා සහ අපේක්ෂාවන්ට සංවේදී බව සහතික කිරීම අරමුණු කරගත් මෙම ජනමාධ්‍ය ආචාරධර්ම සංග‍්‍රහය" වෙබ් අඩවි ඇතුළු සියලූ ම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන් විසින් පිළිපැදිය යුතු ය.”

මේ අනුව පෙනී යන්නේ අන්තර්ජාලය තුළ පවතින සියලූම වෙබ් අඩවි ද මෙම ආචාරධර්මයන්ට යටත් ව එකී ක‍්‍රියාව සිදුකරගෙන යාමට  අවශ්‍ය බව යි.

මුද්‍රිත"ශ‍්‍රව්‍ය දෘශ්‍ය වැනි මාධ්‍යයන් තුළින් මෙන් ම අන්තර්ජාලය තුළ පවතින වෙබ් අඩවි හට ද ආචාරධර්ම පිළිපැදීම නූතනය වනවිට අත්‍යවශ්‍ය කාරණයක් ව පවතී. මන්ද යත් අන්තර්ජාලය හරහා විවිධ වෙබ් අඩවි තුළින් තොරතුරු"පුවත් ග‍්‍රහණය කර ගැනීමට බොහෝ ග‍්‍රාහකයින් පෙළඹෙන ආකාරය බහුල ව දැකගත හැකි ය. වෙබ් අඩවියක් තුලින් ද සමාජ මෙහෙවරක් අපේක්ෂා කරන බැවින් යහපත් සමාජයක් ගොඩ නැගීමට තොරතුරු"පුවත් ග‍්‍රාහකයාට ලබා දීම සිදු කරන අතරතුර"ආචාරධර්ම පිළිබඳව ද සලකමින් පුවත් වාර්තාකරණය සිදුකළ හොත් එ කී කරුණ පොදුවේ වෙබ් අඩවියට මෙන් ම සමාජයට ද ඉන් යහපතක් වනු ඇත.


Thursday, June 29, 2017

කැලණියේ සත්‍ය කතා  01

විශ්වවිද්‍යාලයට එන්නට පෙර පාසලේ ගුරුවරුන් අපේ සිත් තුළ මැවූ ඒ සුන්දර ලේාකය සැබෑ ලෙස ම මෙහි තිබෙනවා ද යන්න අදටත් මම මගෙන් ම අසාගන්නා ප්‍රශ්නයකි. වසර 4ක් ගෙවෙන්නට ළං වුව ද තවමත් එකී ප්‍රශ්නයට පිළිතුරක් හමු වී නැත. සෙසු විශ්වවිද්‍යාලයන්ගේ මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපනයේ අර්බුධය ප්‍රබල ලෙස ඉස්මතු වී ඇති කාල වකවානුවක් ලෙස මෙම කාල වකවානුව හඳුන්වාදිය හැකි ය.

"පඤඤාය පරිසුජ්ඣති" ආදර්ශ පාඨය කැලණිය විශ්වවිද්‍යාලයේ ලාංඡනයේ යොදා තිබුන ද තැම් අවස්ථාවල දී සිදුවන සිදුවීම් දෙස බලනවිට සැබෑ ලෙස ම සිදුවන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රඥාව මනා ලෙස පිරිසිඳු කිරීම ම දැයි සැකයක් ඇති වේ.

විශේෂයෙන් ම අප විශ්වවිද්‍යාලයේ චාර්ය මණ්ඩලය, දැනුමින් පරිපූර්ණ වූ චාර්යවරුන්ගෙන් සමන්විත බවට අවිවාදයෙන් ම පිළිගත යුතු අතර ශිෂ්‍යයන්ගේ අනාගතය ගැන සිතන, ඔවුන්ට ඉදිරියට එන්නට අත දෙන ප්‍රගතිශීලී ආචාර්යවරුන් බහුතරයක් සිටීම සතුටට කරුණකි. ඒ අතර තමන්ගේ සුඛ විහරණය පිණිස විශ්වවිද්‍යාල පරිපාලනයට සහ පවතින රජයට කඩේ යන චාර්යවරු මෙන් ම තමන්ගේ බලය පෙන්වීමට ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කරන චාර්යවරු ද වර්තමානයේ අප විශ්වවිද්‍යාලය තුළ සිටින බව පිළිකුලෙන් යුතු ව වුව ද සඳහන් කිරීමට සිදු වී තිබේ.

සිවුවන වසර විද්‍යාර්ථයින්ගේ ප්‍රායේාගික පරීක්ෂණයක් සඳහා අධ්‍යයනාංශයෙන් ලබා ගැනීමට අවශ්‍ය උපකරණ ලබා දීමට ආචාර්යවරයෙක් ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සිදුවීමක් පසුගිය වසර 3 ඇතුළත දී අපට අසන්නට ලැබුණු එක් සිදුවීමකි. තවත් ආචාර්යවරයෙක් වසර 2ක් ම ශිෂ්‍යාවක අසමත් කර ඇත්තේ ද ලිංගික අල්ලස් ලබා නොදීම හේතුවෙන් ය. මෙසේ තව කොපමන පිරිසක් තමාගේ උපාධිය ලබා ගැනීමට මෙ වැනි සිදුවීම්වලට ගොදුරු වී ඇති ද? එ වැනි ආචාර්යවරුන් නිසා තමාගේ උපාධිය අත්හැර දැමූවන් කෙතරම් සිටින්නට ඇති ද? මේවා සාකච්චාවට බඳුන් නො වන, විශ්වවිද්‍යාල පරිපාලනය පවා නො දන්නා හෝ නො දන්නා සේ සිටින ගැටලු ය. ශිෂ්‍යාවන් ට විශ්වවිද්‍යාලය තුළ උපාධිය ලබාගත හැක්කේ මහන්සියෙන් හෝ හාන්සියෙන් ය යන කතාවේ සත්‍යතාවය මතු දැක් වූ කරුණු දෙස බලන කල මනා ලෙස පැහැදිලි වේ. මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ  පමණක් නො ව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ම දැකගත හැකි ඉතාමත් සෝචනීය තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකි අතර ඉතා ඉක්මනින් ම වෙනස් කළ යුතු තත්ත්වයක් ලෙස ද අවිවාදයෙන් සහන් කළ යුතු ය.

මෑතක දී අසන්නට ලැබුණු තවත් සිදුවීමක් වන්නේ එක්තරා අධ්‍යයනාංශයක ඉගෙනුම ලබන විද්‍යාර්ථයින් පිරිසකට සම්පූර්ණ කළ යුතු ව ඇති පුහුණුවකට යාමට අධ්‍යයනාංශය මඟින් ලබා දිය යුතු පහසුකම් එම අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්යවරිය විසින් ලබා නො දීම නිසා ති වූ මතභේදාත්මක සිදුවීමකි. මේ හේතුවෙන් එම සිසුන් මහත් අසීරුතාවට පත් වූ අතර, පසුව ඔවුන් පුහුණුව සඳහා යැවුව ද එකී ආචාර්යවරිය විසින් පුහුණුවෙන් සිසුන්ට ලැබෙන දීමනාව ලබා නො දෙන ලෙස පුහුණු ස්ථානයට දන්වා යැවීමට තරම් පහත් තත්ත්වයකට පත් වීම පිළිකුල් සහගත කරුණකි. මෙය එක් කරුණක් පමණක් වන අතර තවත් ප්‍රශ්න රාශියක් එකී අධ්‍යයනාංශයේ සිදුවුව ද, මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ හෝ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේගේ හෝ අවධානය යොමු නො වීම පුදුමයට කරුණකි.

මෙහි ලා සඳහන් නො කර ම බැරි තවත් කරුණක් වන්නේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකු හා ශිෂ්‍යයෙකු අතර මෑතක දී සිදු වූ ප්‍රශ්නයකි. එය මේ වන විටත් කිසිවෙකුගේ අවධානයට ලක් නො වී තවමත් උඩුදුවමින් පවතින්නක් බව කිව යුතු ය. මෙම කරුණේ හාස්‍ය ම කොටස වන්නේ, අනිවාර්යයෙන් ම යම් ආයතනයකින් ලබා තිබිය යුතු පුහුණුව ලැබීමට අත්‍යවශ්‍ය වන, අධ්‍යයනාංශයෙන් නිකුත් කළ යුතු ලිපිය එකී මහාචාර්යවරයාට එරෙහි ව එම ශිෂ්‍යයා විසින් දමා ඇති නඩුව ඉවත් කරන තෙක් ලබා නො දීම යි. මෙම හේතුව නිසා වසරක පමණ කාලයක් යන තෙක් ම තවමත් ඔහුට එකී පුහුණුව ලබා ගැනීමට නොහැකි වී තිබේ. තව ද එම අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් මාර්ගයෙන් මෙම ශිෂ්‍යයාට බලපෑම් කිරීම ද ඔහුගේ ව්‍යාපෘති යේාජනාව පවා බාර නො ගැනීමට ආචාර්යවරුන් කටයුතු කිරීම ද කෙතරම් දුරට පෞද්ගලික පළිගැනීම් විශ්වවිද්‍යාලය තුළ සිදුවනවා ද යන්න දැක්වීමට හොඳ ම නිදර්ශනයන් ය. සෑම සතියක ම පාහේ උපකුලපති, සහකාර උපකුලපති, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ සමඟ මෙම ප්‍රශ්නය සාකච්චා කළ ද ඔවුන් එකිනෙකාට බෝලය පාස් කරනවා විනා මෙම ශිෂ්‍යයාගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමටවත්, ඔහුට සිදු වූ අසාධාරණය පිළිබඳ කතා කිරීමටවත් ඉදිරිපත් නො වන්නේ මන්දැයි ගැටළුවකි.

මෙම ලිපිය මඟින් දැක්වූයේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපනයේ නිදහස බිඳ දමා ඇති අවස්ථා කිහිපයක් පමණි. තමන්ගේ විවිධ අවශ්‍යතාවන් ඉටු කරගැනීමට, පෞද්ගලික ව තිබෙන පළිගැනීම් හේතුකොටගෙන, තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගෙන ශිෂ්‍යයන්ගේ අනාගතය බිල්ලට දෙන ආචාර්යවරුන් ද කැලණිය විශ්වවිද්‍යාලයේ සිටින බව සඳහන් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි. විශ්වවිද්‍යාල පරිපාලනය ද මෙ වැනි සිදුවීම් නොදැක්කා සේ සිටීමෙන් ශිෂ්‍යයන්ගේ ජීවිතවලට සිදු කරන්නේ විශාල අගතියකි.


කෙසේ වුව ද මෙ වැනි ප්‍රශ්න දෙස ප්‍රගතිශීලී ලෙස බලන ආචාර්යවරුන් ද සිටින බව ද කිව යුතු ය. කුමන ප්‍රශ්න තිබුණ ද ආචාර්යවරුන් ශිෂ්‍යයන්ගෙන් පළිගැනීමට ශිෂ්‍යයන්ගේ අනාගතය සමඟ සෙල්ලම් කිරීම යුක්ති යුක්ත නොවන බව කිව යුතුම ය. මන්ද යත් අහිංසක ව අංගුලිමාලයෙකු කරන්නේ ද ගුරුවරයෙකු බැවිනි. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ අනාගතය එළිය කරන්නේ ද, අඳුරු කරන්නේ ද යන්න තීරණය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හැකියාව තිබේ. එවැනි උත්තරීතර වෘත්තියක් කරනා පිරිසක් තමාගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීමට ශිෂ්‍ය ජීවිත බිල්ලට ගැනීම සාධාරණ ද යන්න තමන් විසින් තමන්ගෙන් ම අසා ගත යුතු කාලය එළඹ ඇත.