Thursday, June 29, 2017

කැලණියේ සත්‍ය කතා  01

විශ්වවිද්‍යාලයට එන්නට පෙර පාසලේ ගුරුවරුන් අපේ සිත් තුළ මැවූ ඒ සුන්දර ලේාකය සැබෑ ලෙස ම මෙහි තිබෙනවා ද යන්න අදටත් මම මගෙන් ම අසාගන්නා ප්‍රශ්නයකි. වසර 4ක් ගෙවෙන්නට ළං වුව ද තවමත් එකී ප්‍රශ්නයට පිළිතුරක් හමු වී නැත. සෙසු විශ්වවිද්‍යාලයන්ගේ මෙන් ම කැලණිය විශ්වවිද්‍යාලයේ ද අධ්‍යාපනයේ අර්බුධය ප්‍රබල ලෙස ඉස්මතු වී ඇති කාල වකවානුවක් ලෙස මෙම කාල වකවානුව හඳුන්වාදිය හැකි ය.

"පඤඤාය පරිසුජ්ඣති" ආදර්ශ පාඨය කැලණිය විශ්වවිද්‍යාලයේ ලාංඡනයේ යොදා තිබුන ද තැම් අවස්ථාවල දී සිදුවන සිදුවීම් දෙස බලනවිට සැබෑ ලෙස ම සිදුවන්නේ විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රඥාව මනා ලෙස පිරිසිඳු කිරීම ම දැයි සැකයක් ඇති වේ.

විශේෂයෙන් ම අප විශ්වවිද්‍යාලයේ චාර්ය මණ්ඩලය, දැනුමින් පරිපූර්ණ වූ චාර්යවරුන්ගෙන් සමන්විත බවට අවිවාදයෙන් ම පිළිගත යුතු අතර ශිෂ්‍යයන්ගේ අනාගතය ගැන සිතන, ඔවුන්ට ඉදිරියට එන්නට අත දෙන ප්‍රගතිශීලී ආචාර්යවරුන් බහුතරයක් සිටීම සතුටට කරුණකි. ඒ අතර තමන්ගේ සුඛ විහරණය පිණිස විශ්වවිද්‍යාල පරිපාලනයට සහ පවතින රජයට කඩේ යන චාර්යවරු මෙන් ම තමන්ගේ බලය පෙන්වීමට ශිෂ්‍යයන්ගේ අනාගතය විනාශ කරන චාර්යවරු ද වර්තමානයේ අප විශ්වවිද්‍යාලය තුළ සිටින බව පිළිකුලෙන් යුතු ව වුව ද සඳහන් කිරීමට සිදු වී තිබේ.

සිවුවන වසර විද්‍යාර්ථයින්ගේ ප්‍රායේාගික පරීක්ෂණයක් සඳහා අධ්‍යයනාංශයෙන් ලබා ගැනීමට අවශ්‍ය උපකරණ ලබා දීමට ආචාර්යවරයෙක් ශිෂ්‍යාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ සිදුවීමක් පසුගිය වසර 3 ඇතුළත දී අපට අසන්නට ලැබුණු එක් සිදුවීමකි. තවත් ආචාර්යවරයෙක් වසර 2ක් ම ශිෂ්‍යාවක අසමත් කර ඇත්තේ ද ලිංගික අල්ලස් ලබා නොදීම හේතුවෙන් ය. මෙසේ තව කොපමන පිරිසක් තමාගේ උපාධිය ලබා ගැනීමට මෙ වැනි සිදුවීම්වලට ගොදුරු වී ඇති ද? එ වැනි ආචාර්යවරුන් නිසා තමාගේ උපාධිය අත්හැර දැමූවන් කෙතරම් සිටින්නට ඇති ද? මේවා සාකච්චාවට බඳුන් නො වන, විශ්වවිද්‍යාල පරිපාලනය පවා නො දන්නා හෝ නො දන්නා සේ සිටින ගැටලු ය. ශිෂ්‍යාවන් ට විශ්වවිද්‍යාලය තුළ උපාධිය ලබාගත හැක්කේ මහන්සියෙන් හෝ හාන්සියෙන් ය යන කතාවේ සත්‍යතාවය මතු දැක් වූ කරුණු දෙස බලන කල මනා ලෙස පැහැදිලි වේ. මෙය කැලණිය විශ්වවිද්‍යාලයේ  පමණක් නො ව සමස්ත විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ම දැකගත හැකි ඉතාමත් සෝචනීය තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකි අතර ඉතා ඉක්මනින් ම වෙනස් කළ යුතු තත්ත්වයක් ලෙස ද අවිවාදයෙන් සහන් කළ යුතු ය.

මෑතක දී අසන්නට ලැබුණු තවත් සිදුවීමක් වන්නේ එක්තරා අධ්‍යයනාංශයක ඉගෙනුම ලබන විද්‍යාර්ථයින් පිරිසකට සම්පූර්ණ කළ යුතු ව ඇති පුහුණුවකට යාමට අධ්‍යයනාංශය මඟින් ලබා දිය යුතු පහසුකම් එම අධ්‍යයනාංශයේ අංශාධිපති ආචාර්යවරිය විසින් ලබා නො දීම නිසා ති වූ මතභේදාත්මක සිදුවීමකි. මේ හේතුවෙන් එම සිසුන් මහත් අසීරුතාවට පත් වූ අතර, පසුව ඔවුන් පුහුණුව සඳහා යැවුව ද එකී ආචාර්යවරිය විසින් පුහුණුවෙන් සිසුන්ට ලැබෙන දීමනාව ලබා නො දෙන ලෙස පුහුණු ස්ථානයට දන්වා යැවීමට තරම් පහත් තත්ත්වයකට පත් වීම පිළිකුල් සහගත කරුණකි. මෙය එක් කරුණක් පමණක් වන අතර තවත් ප්‍රශ්න රාශියක් එකී අධ්‍යයනාංශයේ සිදුවුව ද, මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පරිපාලනයේ හෝ ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේගේ හෝ අවධානය යොමු නො වීම පුදුමයට කරුණකි.

මෙහි ලා සඳහන් නො කර ම බැරි තවත් කරුණක් වන්නේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙකු හා ශිෂ්‍යයෙකු අතර මෑතක දී සිදු වූ ප්‍රශ්නයකි. එය මේ වන විටත් කිසිවෙකුගේ අවධානයට ලක් නො වී තවමත් උඩුදුවමින් පවතින්නක් බව කිව යුතු ය. මෙම කරුණේ හාස්‍ය ම කොටස වන්නේ, අනිවාර්යයෙන් ම යම් ආයතනයකින් ලබා තිබිය යුතු පුහුණුව ලැබීමට අත්‍යවශ්‍ය වන, අධ්‍යයනාංශයෙන් නිකුත් කළ යුතු ලිපිය එකී මහාචාර්යවරයාට එරෙහි ව එම ශිෂ්‍යයා විසින් දමා ඇති නඩුව ඉවත් කරන තෙක් ලබා නො දීම යි. මෙම හේතුව නිසා වසරක පමණ කාලයක් යන තෙක් ම තවමත් ඔහුට එකී පුහුණුව ලබා ගැනීමට නොහැකි වී තිබේ. තව ද එම අධ්‍යයනාංශයේ ආචාර්යවරුන් මාර්ගයෙන් මෙම ශිෂ්‍යයාට බලපෑම් කිරීම ද ඔහුගේ ව්‍යාපෘති යේාජනාව පවා බාර නො ගැනීමට ආචාර්යවරුන් කටයුතු කිරීම ද කෙතරම් දුරට පෞද්ගලික පළිගැනීම් විශ්වවිද්‍යාලය තුළ සිදුවනවා ද යන්න දැක්වීමට හොඳ ම නිදර්ශනයන් ය. සෑම සතියක ම පාහේ උපකුලපති, සහකාර උපකුලපති, ශිෂ්‍ය කටයුතු අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ සමඟ මෙම ප්‍රශ්නය සාකච්චා කළ ද ඔවුන් එකිනෙකාට බෝලය පාස් කරනවා විනා මෙම ශිෂ්‍යයාගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමටවත්, ඔහුට සිදු වූ අසාධාරණය පිළිබඳ කතා කිරීමටවත් ඉදිරිපත් නො වන්නේ මන්දැයි ගැටළුවකි.

මෙම ලිපිය මඟින් දැක්වූයේ විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථයින්ගේ අධ්‍යාපනයේ නිදහස බිඳ දමා ඇති අවස්ථා කිහිපයක් පමණි. තමන්ගේ විවිධ අවශ්‍යතාවන් ඉටු කරගැනීමට, පෞද්ගලික ව තිබෙන පළිගැනීම් හේතුකොටගෙන, තමන්ගේ බලය ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගෙන ශිෂ්‍යයන්ගේ අනාගතය බිල්ලට දෙන ආචාර්යවරුන් ද කැලණිය විශ්වවිද්‍යාලයේ සිටින බව සඳහන් කිරීමට සිදුවීම කණගාටුවට කරුණකි. විශ්වවිද්‍යාල පරිපාලනය ද මෙ වැනි සිදුවීම් නොදැක්කා සේ සිටීමෙන් ශිෂ්‍යයන්ගේ ජීවිතවලට සිදු කරන්නේ විශාල අගතියකි.


කෙසේ වුව ද මෙ වැනි ප්‍රශ්න දෙස ප්‍රගතිශීලී ලෙස බලන ආචාර්යවරුන් ද සිටින බව ද කිව යුතු ය. කුමන ප්‍රශ්න තිබුණ ද ආචාර්යවරුන් ශිෂ්‍යයන්ගෙන් පළිගැනීමට ශිෂ්‍යයන්ගේ අනාගතය සමඟ සෙල්ලම් කිරීම යුක්ති යුක්ත නොවන බව කිව යුතුම ය. මන්ද යත් අහිංසක ව අංගුලිමාලයෙකු කරන්නේ ද ගුරුවරයෙකු බැවිනි. ඒ අනුව යම් පුද්ගලයෙකුගේ අනාගතය එළිය කරන්නේ ද, අඳුරු කරන්නේ ද යන්න තීරණය කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට හැකියාව තිබේ. එවැනි උත්තරීතර වෘත්තියක් කරනා පිරිසක් තමාගේ පටු පරමාර්ථ ඉටු කර ගැනීමට ශිෂ්‍ය ජීවිත බිල්ලට ගැනීම සාධාරණ ද යන්න තමන් විසින් තමන්ගෙන් ම අසා ගත යුතු කාලය එළඹ ඇත.

No comments:

Post a Comment